ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් විසින් උතුරු පළාතේ ප්‍රථම බහු පරිශීලක ලොජිස්ටික් මධ්‍යස්ථානය විවෘත කරයි

ශ්‍රී ලාංකික ලොජිස්ටිස්ක් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රථම බහු-පාරිභෝගික ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. යාපනය ප්‍රදේශයේ ස්ථාපිත මෙම නවීන පහසුකම් සහිත ගබඩා සංකීර්ණය උතුරු පළාතේ ආර්ථික තත්ත්වය සවිබල ගැන්වීම වෙනුවෙන් පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද සුවිශේෂී ආයෝජනයක් වේ.

නව මධ්‍යස්ථානය විවෘත කිරීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩේවිඩ් පීරිස් මහතා අතින් සිදු කෙරුණු අතර ඒ සදහා සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානයක මහතා ඇතුළු සමූහයේ සමාගම් අධ්‍යක්ෂවරු සහභාගී විය. 

මෙම මධ්‍යස්ථානය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉතා සමීපව යාපනය, කන්කසන්තුරේ, මයිලිඩ්ඩි දකුණ, කඩ්ඩුවාන්-මයිලිඩ්ඩි පාරේ පිහිටා තිබීම විශේෂත්වයකී. උතුරු පළාතේ වෘත්තීය මට්ටමින් කළමනාකරණය කරනු ලබන පළමු බහු-පාරිභෝගික ගබඩා පහසුකම මෙය වන අතර,  කලාපීය ආර්ථික වර්ධනය කෙරෙහි සමාගම තබා ඇති විශ්වාසය මෙමඟින් මැනවින් ඉස්මතු වේ.

Third-Party Logistics මධ්‍යස්ථානයක් ලෙස නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානය වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), සිල්ලර වෙළඳාම, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන වැනි විවිධ කර්මාන්ත රැසකට අවශ්‍ය ගබඩා පහසුකම් මෙන්ම ඇසුරුම්කරණ සහ බෙදාහැරීමේ සේවා සපයයි.

මෙය කන්කසන්තුරේ දුම්රිය ස්ථානය, වරාය සහ පලාලි ගුවන්තොටුපොළ යන ප්‍රධාන ප්‍රවාහන ස්ථානයන්ට ඉතා ආසන්නව පිහිටා තිබීම ඔස්සේ ගොඩබිම, මුහුදු සහ ගුවන්  ආදී මාර්ග ත්‍රිත්වයෙන්ම ඉතා කාර්යක්ෂමව භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. සැපයුම්දාම පිරිවැය අවම කරගනිමින් බෙදාහැරීමේ කාලය ඉතිරි කර ගැනීමට මේ ඔස්සේ  ව්‍යාපාරිකයන්ට අවස්ථාව සැලසේ. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රදේශයේ තරුණ ප්‍රජාව වෙත සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවන අතර නවීන ලොජිස්ටික් තාක්ෂණය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ද මග විවර වේ.

ඩේවිඩ් පීරිස් සමූහයේ තිරසාරභාවය පිළිබඳ ආචාර ධර්මවලට අනුගත වෙමින් මෙම ඒකකයේ බලශක්ති කාර්යක්ෂමතාවය සහ පාරිසරික වශයෙන් වගකීම් සහගත මෙහෙයුම් ක්‍රමවේදයන් ඒකාබද්ධ කෙරේ. ඒ තුළින් තිරසාර සහ වගකීම් සහගත  සැපයුම් විසඳුම් සඳහා ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස්හි කැපවීම සවිමත් කරයි.

මෙම මධ්‍යස්ථානය උතුරු පළාතේ ව්‍යාපාර ජාතික මට්ටමේ වෙළඳපල සමඟ සම්බන්ධ කිරිමට ඉවහල් වන ප්‍රධාන මාවතක් බව, ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කැළුම් කැටිපෙආරච්චි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේය.

උත්සව අවස්ථාවට පැමිණි අමුත්තන් නවීන ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය තුළ සංස්කෘතික අංගයකට එක් වූ අයුරු

දිවයින පුරා විහිදුණු සැපයුම්දාම විසඳුම් රාශියක් ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් විසින් පිරිනමයි. දශක තුනකට ආසන්න අත්දැකීම් ඇති සමාගම, ගබඩා කිරීම, 3PL සහ 4PL සේවා, බහාලුම් ප්‍රවාහනය, බෙදා හැරීම, ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය සහ ව්‍යාපෘති සැපයුම් යන ක්ෂේත්‍රවල සවිමත් මාවතක් නිර්මාණය කර තිබේ. ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 400කට අධික පිරිසකගේ  ශ්‍රම බලකායකින් සමන්විත මෙම සමාගම, වෙනස් වන ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සැකසූ සැපයුම් විසඳුම් සමඟ සිය සේවය සපයයි. එපමණක් නොව ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් සමාගම ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ද ගමන් කරමින් ඩුබායි, ඕමාන් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවලද ව්‍යාපාර සඳහා ආයෝජනය කර ඇති අතර එහි ජාත්‍යන්තර පැවැත්ම තවදුරටත් සවිමත් කර ඇත.

අභිනවයෙන් විවෘත කෙරුණු නවීන ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය

මෙහි වෘත්තීය වශයෙන් කළමනාකරණය කරන ලද සැපයුම් සහ යටිතල පහසුකම් සැපයීම  තුළින් අවම පිරිවැයක් ඔස්සේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටද සිය නිෂ්පාදන ආරක්ෂිතව ගබඩා කර බෙදාහැරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයයි.ඒ තුළින් ඔවුන්ට ජාතික හා කලාපීය සැපයුම් දාමයන් සමඟ වඩාත් ඵලදායි ලෙස එක්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. බස්නාහිර පළාතෙන් ඔබ්බට ද  සමාන කලාපීය වර්ධනයක් සහ පෞද්ගලික අංශය මෙහෙයවන ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ජාතික අරමුණු සමඟ මෙම ව්‍යාපෘතිය මැනවින්  ගැළපෙයි .

ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් හි පුළුල් වර්ධනය මෙන්ම කලාපීය සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ සැපයුම් සහ වෙළඳ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සිදුකරන ලද දිගුකාලීන කැපවීම මෙම සුවිශේෂී සන්ධිස්ථානය හරහා අවධාරණය කරයි. මෙම නව ආයෝජනය හරහා උතුරු පළාත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ජාලය සමඟ තවදුරටත් ශක්තිමත්ව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරයි.

ඡායාරූප
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩේවිඩ් පීරිස් මහතා අතින් නව මධ්‍යස්ථානය විවෘත වූ අයුරු. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතාද ඡායාරූපයේ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top