
2026 අප්‍රේල් 27 වන දින සිට බල පැවැත්වෙන පරිදි කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස හස්රත් මුණසිංහ මහතා පත් කරන බව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කර ඇත.
ඔහු මෙසේ මෙම තනතුරට පත් වන්නේ, වසර හතරක් මෙම තනතුරේ සේවය කර කොමර්ෂල් බැංකුවේ වසර 30 කටත් වැඩි කීර්තිමත් වෘත්තීය ජීවිතයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2026 අප්‍රෙල් 26 දින විශ්‍රාම දිවියට පිවිසෙන එස්. ප්‍රභාගර් මහතාගෙන් පසුවය.
මුණසිංහ මහතා දැනට කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය ලෙස කටයුතු කරන අතර මීට පෙර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ ලෙස කටයුතු කලේය. බැංකුවේ සිය වෘත්තීය ජීවිතය තුළ ඔහු ආයතනික බැංකුකරණය, පාරිභෝගික බැංකුකරණය, ඩිජිටල් බැංකුකරණය, අලෙවිකරණය, කාඩ්පත්, ප්‍රේෂණ, පාරිභෝගික සේවා සහ තිරසරභාවය යන අංශ අධීක්ෂණය කර ඇති අතර, තිරසර වර්ධනයක් සහ ශක්තිමත් කාර්යසාධන ප්‍රතිඵල ලබා දීම වෙනුවෙන් එම අංශ වලට මනාව මඟ පෙන්වා ඇත. මුණසිංහ මහතා කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරයේ භාරකරුවෙකු ලෙස ද කටයුතු කරයි.
බැංකු, විදුලි සංදේශ, පාරිභෝගික භාණ්ඩ සහ මාධ්‍ය වැනි බහුවිධ විෂය ක්ෂේත්‍රයන්හි වසර 31 ක පළපුරුද්දක් ඇති ආයතනික විධායක නිළධාරියෙකු වන මුණසිංහ මහතා කොමර්ෂල් බැංකුවේ ආයතනික කළමනාකරණයේ වසර 15 ක් ද ඇතුළුව වසර 20 කට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පළපුරුද්දක් ඔහුගේ මෙම නව භූමිකාවට ගෙන එනු ඇත.
කොමර්ෂල් බැංකුවේ සිය සේවා කාලය පුරාවටම, ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ අභිප්‍රායන් සමඟ ආයතනය තුළ දිගු කාලීන වටිනාකම් පෙළගැස්ම සඳහා ප්‍රගතිශීලී උපායමාර්ග සකස් කරමින් මුණසිංහ මහතා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත. උපායමාර්ග ගොඩනැගීම සහ ව්‍යාපාර වර්ධනය පිළිබඳව ඔහුගේ විශේෂඥතාව පිළිබඳ කීර්තියක් උසුලන ඔහු, ව්‍යාපාරික සේවා පුළුල් කිරීම, වත්කම්වල ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ පාරිභෝගික වටිනාකම වැඩි කිරීම මගින් සෑම විටම මනා වූ ප්‍රමාණවත් බලපෑමක් ඇතිකර තිබේ. ඔහුගේ නායකත්වය යටතේ මේ වන විටත් ප්‍රධාන බැංකු අංශ විශාල ප්‍රගතියක් පෙන්වීමට සමත් වී ඇත .
අධ්‍යාපනික සුදුසුකම් අනුව, දක්ෂ වෘත්තිකයෙකු වන මුණසිංහ මහතාට මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් සහ ඕස්ට්‍රේරලියාවේ දකුණු ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමියි. ඔහු CIMA-UK හි වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු (ACMA,CGMA), වරලත් කළමනාකරණ ආයතනය (FCMI) හි සාමාජිකයෙකු මෙන්ම CIM-UK හි වරලත් අලෙවිකරුවෙකු ද වේ.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
උපුටා ගැනීම : අද දෙරණ
