බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි නොකරන බවට නිෂ්පාදන හිමිකරුවන්ගෙන් සහතිකයක්

 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහතික විය.

එම සංගමයේ නියෝජිතයන් ඊයේ(26) අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.

මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය තුළ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇති කර තිබෙන බලපෑම් සහ එය කළමනාකරණයට එම කර්මාන්තකරුවන් ගන්නා
තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණි.

පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

ගෝලීය තත්ත්වය විසින් ඇති කර තිබෙන බලපෑම තුළ මෙරට බිස්කට් කර්මාන්තයේ නිරත පිරිස් රැකගනිමින්, පාරිභෝගිකයා ද පීඩාවට පත්වීම අවම වන ලෙස කළමනාකරණය කරගැනීම රජයේ අපේක්ෂාව බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

මෙම අසීරු අවස්ථාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා දීමට රජය මැදිහත්වීමට සූදානම් බවත්, දුෂ්කරතා මධ්‍යයේ වුවද පාරිභෝගිකයා ගැන සිතා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා සදහන් කළේය.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top