සුළි කුණාටුවෙන් පීඩාවට පත් කඳුකරයේ එළවළු ගොවීන් දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස නඟා සිටුවීමේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ එක් වෙයි

සුළි කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු නිෂ්පාදන පද්ධති යළි ගොඩනැගීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස පරිවර්තනය කිරීම සඳහා වූ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක) වටිනාකමකින් යුත් ආධාර වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, ඕස්ට්‍රේලියානු රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් දියත් කරන ලදි.

මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු මැතිව් ඩක්වර්ත් මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් රට පුරා පුළුල් ව්‍යසනයක් සිදු විය. එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධති සහ ජීවනෝපාය දැඩි ලෙස අඩාල විය. බෝංචි, කැරට්, ලීක්ස්, ගෝවා, තක්කාලි සහ අර්තාපල් වැනි එළවළු සපයන ප්‍රධානතම දිස්ත්‍රික්ක වන කඳුකරයේ පිහිටි නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල විය. එහිදී කුඩා පරිමාණ ගොවීන් දහස් ගණනකට සිය වගා, බීජ හා අනෙකුත් යෙදවුම් සහ නිෂ්පාදන අහිමි විය.

මාස 12ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන එළවළු නිෂ්පාදන පද්ධති යළි නඟා සිටුවීම සහ ශක්තිමත් කිරීමයි. එහිදී කාන්තා ගොවීන් සවිබල ගැන්වීම සහ ආබාධ සහිත පුද්ගලයන්ට සහාය වීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ. වැඩිදියුණු කළ බීජ සහ පැළ නිෂ්පාදන පද්ධති, කුඩා යන්ත්‍ර සූත්‍ර, පුහුණුව සහ වෙළඳපොළ සබඳතා හරහා මෙම ව්‍යාපෘතියෙන් කුඩා පරිමාණ ගොවීන් 2,400කට වැඩි පිරිසකට සෘජු ප්‍රතිලාභ හිමි වේ. එසේම, තවත් දහස් ගණනක් සඳහා ඉන් වක්‍රව සහාය හිමි වනු ඇත.

“මෙම වැඩසටහන අහිමි වූ දේ යළි ලබා ගැනීම සඳහා පමණක් නොව, වඩාත් ඔරොත්තු දෙන සහ ස්වයංව යැපෙන කෘෂිකාර්මික අංශයක් ගොඩනැගීම සඳහා වූ වැදගත් පියවරක්” බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසීය. “දේශීය බීජ පද්ධති ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඇතුළු කුඩා පරිමාණ ගොවීන්ට සහාය වීම හරහා, අප ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිවල දිගුකාලීන තිරසර බව වෙනුවෙන් ආයෝජනය කරනවා” යනුවෙන් ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“දිට්වා සුළි කුණාටුවෙන් පසුව යථා තත්ත්වයට පත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා” යනුවෙන් මහ කොමසාරිස් ඩක්වර්ත් මහතා ප්‍රකාශ කළේය. “ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය සංවර්ධනය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ වැදගත්කම සමඟ ඕස්ට්‍රේලියාව කෘෂිකාර්මික අංශයේ ස්ථාවර හවුල්කරුවකු වනවා. දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිචයන්, ගොවීන් මූලික කරගත් විසඳුම් සහ සර්වග්‍රාහී ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීම හරහා, මෙම ව්‍යාපෘතිය මඟින් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අර්ථවත් සහ කල්පවත්නා ප්‍රතිලාභ ලබා දෙනු ඇතැ” යි ද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සමග සියලු ක්‍රියාකාරකම් ඇතුළත් කර ගැනීම මගින් කෘෂිකාර්මික ආහාර පද්ධති යළි ගොඩනැගීම

බෝංචි සහ අර්තාපල් සඳහා ගොවීන් විසින් මෙහෙයවන බීජ පද්ධති යළි ස්ථාපිත කිරීමට මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රමුඛතාව ලබා දෙනු ඇත. එසේම, විවෘත භූමි සහ ආරක්ෂිත වගා පද්ධති මෙන්ම කාන්තාවන් විසින් මෙහෙයවන පැළ සැපයුම් තවාන් යළි පිහිටුවීම සඳහා ද සහාය ලබා දේ. ඊට අමතරව, කුඩා පරිමාණ යන්ත්‍ර සූත්‍ර සහ යෙදවුම් සහාය සමඟින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (CSGAP) ඔස්සේ සියලුම ගොවීන් සවිබල ගැන්වීම ද සිදු කෙරේ.

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සියලු පහසුකම් සහිත එළවළු තවාන් හයක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයකි. මෙම තවාන් තිරසර කෘෂිකාර්මික ව්‍යවසාය ලෙස ක්‍රියාත්මක වනු ඇත. එමඟින් නව ආදායම් මාර්ග නිර්මාණය කරන අතරම දේශීය යෙදවුම් සැපයුම් ජාල ශක්තිමත් කරමින් උසස් තත්ත්වයේ එළවළු පැළ නිෂ්පාදනය කරනු ලබයි.

විනාශයට පත් ගොවි බිම් යථා තත්ත්වයට පත් කිරීමේ සහාය දිගුකාලීන ඔරොත්තු දීමේ පියවර සමඟ ඒකාබද්ධ කිරීම හරහා, එළවළු නිෂ්පාදනය ස්ථාවර කිරීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වේ. එසේම, ගෘහාශ්‍රිත ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩිදියුණු කිරීමටත්, ආනයනික බීජ මත යැපීම අඩු කිරීමටත් එය දායක වනු ඇත.

“මෙම ව්‍යාපෘතිය මගින් යළිත් වරක් අපේ ආහාර පද්ධති වඩාත් හොඳින් ගොඩනැගීමට ඇති අවස්ථාවක් නියෝජනය කරනවා” යනුවෙන් ශරන් මහතා ප්‍රකාශ කළේය. “දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය, ශක්තිමත් කළ බීජ පද්ධති සහ සර්වග්‍රාහී කෘෂි ව්‍යවසායකත්වය හරහා, ප්‍රජාවන්ට යථා තත්ත්වයට පත්වීමට අප සහාය ලබා දෙනවා. අනාගතයේ ඇති විය හැකි කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට ද එයින් හැකි වනවා” යැයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත ශරන් විමලේන්ද්‍ර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම සහ සියල්ලන් ඇතුළත් කර ගන්නා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රමුඛතාවන්ට ද මෙම වැඩසටහන අනුකූල වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ජාතික හවුල්කරුවන් සමඟ සමීප සහයෝගයෙන් යුතුව මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top