මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී ඇත. 2026 අයවැය මගින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අලුතින් ඉදි කරන දූරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබා දීම අපේක්ෂා කෙරේ. මෙම පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව හෝ ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් ලබා දීම එහි ප්‍රධාන ප්‍රතිපාදනය වේ.

එසේම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක් විය. වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම හා යාවත්කාලීන කිරීම මෙන්ම, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවල (Bad Debts) අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීම සහ 2014 වසරේ සිට ක්‍රියාත්මක බදු අනුපාතයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම බව මෙහිදී  නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.

මෙහිදී බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූ අතර, නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු (Telecom  Levy) අඩු කිරීමේ අවසරය ලබාදීමට අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි නොවීය.

එම යෝජනාව ඉදිරිපත් කරමින් නිලධාරීන් සඳහන් කළේ වත්මන් පනත යටතේ පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී බදු ගණනය කිරීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින්, නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු මුදල්වලින් අඩු කිරීමට අවසර ලබා දීමට යෝජනා කර ඇති බවයි.

කෙසේ වෙතත්, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කරන ලදී. එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන අතර ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු අඩු කිරීමේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා එය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට කාරක සභාව තීරණය කෙරිණි.

උපුටා ගැනීම: අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top