ප්‍රමාද වී ඇරඹුණු කොටස් වෙළෙඳපොළ අද ඒකක 19.58කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (01) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.58ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 1.46කින් ඉහළ ගියේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,243.70ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,206.51ක් ලෙසත් සටහන් විය.

අද දින රු. බිලියන 1.07ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර ඊට වැඩිම දායකත්වය ලබා දෙමින් ඩයලොග් ආසියාටා හි රු. මිලියන 247ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් හුවමාරු වී තිබුණි. මීට අමතරව රු. මිලියන 100ක ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනුවක් ද සමඟින් වින්ඩ්ෆෝස් පීඑල්සී හි කොටස් ගනුදෙනුවලින් රු. මිලියන 115ක පිරිවැටුමක් වාර්තා වුණි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ 2026 වසරේ මුල භාගය තුළ දී 1.60%කින් කොටස් වෙළෙඳපොළ පහළ ගොස් ඇති බවයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වූයේ මිනිත්තු 90ක ප්‍රමාදයකින් පසුව පෙරවරු 11.00ටය.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කියා සිටියේ, වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රීය තිබූ මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් අත්හිටුවීමට ගත් පියවර ක්‍රියාත්මක කිරීමේ දී සක්‍රීය ගිණුම් කිහිපයක් ද ඒ සමඟින් අත්හිටුවීමකට ලක් ව තිබීම  වාර්තා වීමත් සමඟම එය නිවැරදි කිරීම සඳහා මෙලෙස අද දින වෙළෙඳපොළ ආරම්භය ප්‍රමාද වූ බවයි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top