ට්‍රම්ප්ගෙන් අද සිට අලුත් බද්දක්

පැවති සියයට 10 ක තාවකාලික තීරුබදු කල් ඉකුත් වීමත් සමඟ, ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් බලහත්කාර ශ්‍රමය (forced labor) සම්බන්ධ නීති ලිහිල්ව ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාව ඇතුළු වෙළඳ හවුල්කරුවන් 60 දෙනෙකුගේ භාණ්ඩ සඳහා සියයට 10 ක් සහ සියයට 12.5 ක නව තීරුබදු පැනවීමට පියවර ගෙන ඇත.

මෙම පියවර මගින් එක්සත් ජනපද ආනයනවලින් සියයට 99.4 ක් ආවරණය වන අතර, එය 1974 වෙළඳ පනතේ 301 වගන්තිය යටතේ ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, තෙල් සහ ගෑස්, පොහොර සහ ඇතැම් ආහාර ද්‍රව්‍ය මෙන්ම මෝටර් රථ, වානේ සහ ඇලුමිනියම් වැනි ජාතික ආරක්ෂක තීරුබදුවලට දැනටමත් යටත් භාණ්ඩ මෙම නව බදුවලින් නිදහස් කර ඇත.

නව බදු අනුපාත යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ මෙක්සිකෝව ඇතුළු රටවල් 17 ක් සඳහා සියයට 10 ක තීරුබදු පනවනු ලැබේ. යුරෝපා සංගමය, තායිවානය, ජපානය, දකුණු කොරියාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් සඳහා දැනට පවතින බදු අනුපාත සමඟ එකතුව සියයට 10 ක් හෝ සියයට 12.5 ක් වන පරිදි බදු නියම කර ඇත. චීනය ඇතුළු තවත් රටවල් 38 කට සියයට 12.5 ක බදු අනුපාතයක් හිමි වේ.

එක්සත් ජනපද වෙළඳ නියෝජිත ජේමියන් ග්‍රීර් (Jamieson Greer) ප්‍රකාශ කළේ, බලහත්කාර ශ්‍රමය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීම මානව හිමිකම් සුරැකීමට සහ වෙළඳ ක්ෂේත්‍රයේ අසාධාරණ ක්‍රමවේද නිවැරදි කර ලොව පුරා සේවක සුබසාධනය ඉහළ නැංවීමට ගන්නා පියවරක් බවයි.

කෙසේ වෙතත්, මෙම තීරණයට විවිධ රටවලින් විරෝධතා එල්ල වී ඇත. නෝර්වේ රාජ්‍යය පවසා ඇත්තේ තම රට තුළ බලහත්කාර ශ්‍රමය වැළැක්වීමට දැනටමත් පැහැදිලි නීති පවතින බැවින් මෙම බදු පැනවීමට පදනමක් නොමැති බවයි. ඕස්ට්‍රේලියාව සහ බ්‍රසීලය ද මෙම තීරුබදු අසාධාරණ බව ප්‍රකාශ කර ඇති අතර ඒවා ඉවත් කර ගැනීමට උත්සාහ කරන බව පවසා ඇත. මේ අතර, මැසචුසෙට්ස් ප්‍රාන්ත ආණ්ඩුකාර මවුරා හීලි (Maura Healey) පෙන්වා දුන්නේ මෙම බදු පැනවීම නිසා පාරිභෝගික පිරිවැය ඉහළ යා හැකි අතර එය අමෙරිකානු ව්‍යාපාරවල තරඟකාරිත්වයට අහිතකර ලෙස බලපානු ඇති බවයි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top