ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද 26 වන අපනයනකරුවන්ගේ සංසදය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 19 වෙනිදා) එම මණ්ඩල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වනු ලැබීය. අපනයනකරුවන්ට තම ව්‍යාපාරික ගැටළු ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත සෘජුව ඉදිරිපත් කර, ප්‍රායෝගික විසඳුම් ලබාගැනීම සඳහා මෙය වැදගත් අවස්ථාවක් විය.
මෙම සංසදය අමතමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ, අපනයන ක්ෂේත්‍රයේ පවතින බාධා සරල කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහය ලබා දෙන බවයි,අපනයනකරුවන්ගේ ගැටලු කොළඹට පමණක් සීමා නොවී, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් රජයේ ආයතන සමඟ සෘජුව සාකච්ඡා කර විසඳීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය
රජයේ මූලික ඉලක්කය අපනයනකරුවන්ගේ සංඛ්‍යාවට වඩා අපනයන පරිමාව (Export volume) ඉහළ නැංවීමයි. ග්‍රාමීය නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ, නිසි ඇසුරුම්කරණය සහ තාක්ෂණය පිළිබඳ අවශ්‍ය අවබෝධය ලබා දෙමින් ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමට ඇති බාධා ඉවත් කරන බව ඔහු ප්‍රකාශ කළේය
ප්‍රතිපත්තිමය තීන්දු සරල කරමින් සහ අපනයනකරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරමින් රටේ මූල්‍ය ස්වාධීනත්වය උදෙසා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී අවසාන වශයෙන් ප්‍රකාශ කළේය
26 වන අපනයනකරුවන්ගේ සංසදයේදී අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුව 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ලබා ගැනීම රජයේ ඉලක්කය බවයි. 2025 වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 17.3 ක වාර්තාගත අපනයන අගයක් අත්කරගෙන ඇති අතර, 2026 වසර සඳහා ඩොලර් බිලියන 19 ක ඉලක්කයක් හඹා යන බව ඔහු සඳහන් කළ අතර අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික සහ වෙළඳ බාධක ඉවත් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය
අපනයනකරුවන් ඉදිරිපත් කළ ගැටළු අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අපනයන කාර්යසාධක බලකාය හරහා අදාළ ආයතන වෙත යොමු කර විසඳීමට දැනටමත් පියවර ගෙන ඇත. සෙසු ගැටළු පිළිබඳව මෙම සංසදයේදී සෘජුවම සාකච්ඡා කර විසඳුම් සෙවීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග උදේෂ් වීරරත්න මහතා මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා වෙළද පහසුකම් සහ වෙළද තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර මහතා ඇතුළු අධ්‍යක්ෂවරුන්, අපනයන උපදේශක කමිටු නියෝජිතයින්, අපනයනකරුවන්ගේ සංගම්, වාණිජ මණ්ඩල නියෝජිතයින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, පුද්ගලික අංශයේ සමාගම්වල නියෝජිතයින් ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
26 වන අපනයනකරුවන්ගේ සංසදය ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධන උත්සාහයට නව ප්‍රවේශයක් ලබාදීම, ජාත්‍යන්තර වෙළඳයට පහසුකම් සැලසීම සඳහා රජයේ කැපවීම තහවුරු කිරීමේ වැදගත් අවස්ථාවක් විය.

උපුටා ගැනීම : අද දෙරණ
