සිංගප්පූරු ආයෝජන සංසදයේ සාර්ථකත්වය සමඟ එරටින් ලැබුණු ආයෝජන 196% කින් ඉහළට

විදේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් විදේශිකයින් විසින් කොටස් මිලදී ගැනීම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසන්නේ මෙය ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන සම්බන්ධතාවල සාර්ථකත්වය පෙන්නුම් කරන්නක් බවයි.

2025 අගෝස්තු 12 වන දින සිංගප්පූරුවේදී පවත්වන ලද ‘Invest Sri Lanka’ ආයෝජන සංසදයට අදාළ ප්‍රගති වාර්තාවට අනුව, එම සංසදය පැවැත්වීමට පෙර මාස 12 තුළ සිංගප්පූරුවෙන් ලැබුණු විදේශීය කොටස් මිලදී ගැනීම් රුපියල් බිලියන 2.6 ක් විය. කෙසේ වෙතත්, සංසදය පැවැත්වීමෙන් පසු ගත වූ මාස 12 ක කාලය තුළ එම අගය රුපියල් බිලියන 7.7 දක්වා ඉහළ ගොස් ඇත. මෙය 196% ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම ඉලක්කගත ප්‍රතිඵල මඟින් ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතුවල ඇති වැදගත්කම මැනවින් නිරූපණය වන නමුත්, ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළේ සමස්ත විදේශීය සහභාගිත්වය ප්‍රකෘතිමත් වෙමින් පවතින්නේ ක්‍රමානුකූලවය. වර්තමානයේදී කොටස් වෙළෙඳපොළ සමස්ත පිරිවැටුමෙන් විදේශීය ආයෝජකයින් නියෝජනය කරන්නේ 9% ක ප්‍රතිශතයක් පමණි. මෙය 2025 වසරේ වාර්තා වූ 6% ක අගයට වඩා යම් වර්ධනයක් වුවද, ආර්ථික අර්බුදයට පෙර පැවති 40% ක විදේශීය සහභාගිත්වයට වඩා බෙහෙවින් අඩු මට්ටමක් බව සුරැකුම්පත් කොමිසම පෙන්වා දේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top