හොංකොං හි පැවැත්වෙන 11 වන ‘Belt and Road Summit 2026’ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංවාදයට (Policy Dialogue) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක් වී තිබේ.
‘Belt and Road Summit හි ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික අංශයක් වන “Building Resilient Trade and Investment Frameworks in a Diverse Global Landscape” (විවිධාංගීකෘත ගෝලීය පසුබිමක් තුළ ඔරොත්තු දෙන වෙළෙඳ සහ ආයෝජන රාමු ගොඩනැගීම) නමැති මෙම ප්‍රතිපත්තිමය සාකච්ඡා සභාව හොංකොං හි Wan Chai හි පිහිටි සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (09) පැවැත්විණි.
මෙහිදී, ගෝලීය වශයෙන් මතුවෙමින් පවතින ආර්ථික සහ වෙළෙඳ අභියෝග හමුවේ, කලාපීය සහ අන්තර්ජාතික වෙළෙඳ සම්බන්ධතා වඩාත් ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම, එක් තීරයක් – එක් මාවතක් (Belt and Road) මුලපිරීම යටතේ හවුල්කාර රටවල් අතර විනිවිදභාවයෙන් යුතු, තිරසාර සහ කලාපීය ආර්ථික වර්ධනයට රුකුල් දෙන නව නම්‍යශීලී ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාව කලාපීය නාවික සහ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, දේශීය නිෂ්පාදන සඳහා නව විදේශීය වෙළෙඳපොළවල් විවර කරගැනීම, අගය එකතු කළ ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන අවධානය යොමු කර තිබේ.
මෙම ප්‍රතිපත්ති සංවාද ඉසව්ව හොංකොං හි වාණිජ හා ආර්ථික සංවර්ධන ලේකම් Algernon Yau මහතා විසින් මෙහෙයවන ලද අතර, ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, තායිලන්තය, කටාර්, කසකස්ථානය සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල වෙළෙඳ හා ආර්ථික කටයුතු භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය නියෝජිතයින් රැසක් මෙයට එක්වූහ. මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ වෙළෙඳ, නාවික සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ඉදිරි ගමන සඳහා ජාත්‍යන්තර මට්ටමින් වැදගත් සබඳතා සහ සහයෝගිතාවන් රැසක් ගොඩනඟා ගැනීමට හැකි වී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
උපුටාගැනීම : අද දෙරණ
