ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ සිලෝන් තේ කර්මාන්තයේ ශක්තිමත්භාවය විදහා දක්වමින් තේ අපනයනකරුවන්ගේ සංගමයේ 27 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙයි

තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) 27 වන වාර්ෂික මහා සභා රැස්වීම, “අභියෝග ජය ගැනීම” යන තේමාව යටතේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී 2026/2027 වසර සඳහා සංගමයේ සභාපතිවරයා ලෙස හුසේෆා අක්බර්අලි මහතා නැවත පත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, “වත්මන් ගෝලීය ගැටුම් සහ භූ දේශපාලනික නොසන්සුන්තාවන්, ‘දිට්වා’ සුළිකුණාටුව වැනි ආපදා තත්ත්වයන්, අත්හිටවූ වැට් බද්ද (SVAT) අහෝසි කිරීම මෙන්ම තේ නිෂ්පාදනය පහත වැටීම සහ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු හේතුවෙන් ගතවූ වසර තේ කර්මාන්තයට අතිශය අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වූ බවයි. “සමස්තයක් ලෙස සිලෝන් තේ ප්‍රවාහන මාර්ගවලින් 85% කට ආසන්න ප්‍රමාණයකට බාධා එල්ල වී ඇති අතර, නෞකා රැසකට ‘Cape of Good Hope’ යන තුඩුව වටා ගමන් කිරීමට සිදු වී තිබෙනවා. ප්‍රවාහන ගාස්තු ද කිහිප ගුණයකින් ඉහළ ගියා. මෙවැනි අභියෝග හමුවේ වුවද, සිය ශක්තිමත්භාවය තහවුරු කර ගැනීමට සමත් වුණා. ඉදිරියේදී මෙම තත්ත්වයන් අවසන් වී, තවත් කිලෝ ග්‍රෑම් මිලියන 100 ක් අතිරේකව අපනයනය කිරීමට හැකිවනු ඇති බවත් අපි බලාපොරොත්තු වෙනවා“, යනුවෙන් ඔහු පැවසීය. නිෂ්පාදනය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, “අප සතුව අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද තිබෙනවා. ඉහළ නිෂ්පාදන ධාරිතාවක් සහිත තේ අපනයන සමාගම් මෙන්ම වැඩි අමුතේ දලු ප්‍රමාණයක් සැකසීමේ ධාරිතාව සහිත කර්මාන්තශාලා ද අප සතුව පවතිනවා. අපට අවශ්‍ය වන්නේ කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා අතිරේක අමුතේ දලු අස්වැන්නක් පමණයි. ඒ හරහා සෑම කුඩා තේ වතු හිමි පවුලකටම මසකට රුපියල් 94,000 ක පමණ ආදායමක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. එය ඔවුන්ගේ දැනට පවතින ආදායම මෙන් හතර ගුණයක වර්ධනයක්. රජයේ සහාය ඇතිව 2030 වන විට වසරකට කිලෝ ග්‍රෑම් මිලියන 350 ක නිෂ්පාදන ඉලක්කයක් වෙත ළඟා විය හැකියි“ යනුවෙන් ඔහු කියා සිටියේය. කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන හැකියාව සහ ආදායම ඉහළ නැංවීම සඳහා අඩු පිරිවැය ක්‍රමවේදයක් ලෙස කොටස් වශයෙන් නැවත පැළ සිටුවීමේ වැඩසටහන පිළිබදව සඳහන් කළ ඒ මහතා, තේ මණ්ඩලයේ සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය, අගය එකතු කළ අපනයන දිරිගැන්වීම් සහ අගය එකතු කළ තේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කුළුබඩු ආනයනය කිරීමට නැවත අවසර දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් Verite Research ආයතනයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මහතා ප්‍රකාශ කළේ, 2026 වසරේ ඇති වූ ආර්ථික බලපෑම් හමුවේ අවදානම් අවම කරගැනීම සහ ආර්ථික ආරක්ෂිත පියවර පවත්වාගෙන යාම අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂව ශක්තිමත් ස්ථානයක පසුවන බවයි. “2025 වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙවර සංචාරක ව්‍යාපාරයේ පසුබෑම 1.8% ක් වැනි සුළු අගයක් ගත් අතර, විදේශ ප්‍රේෂණ 21.4% කින් ඉහළ ගියා. ඉන්ධන සඳහා අපට දැරීමට සිදු වූ වැඩි පිරිවැය, ලැබුණු වැඩි විදේශ ප්‍රේෂණ මගින් පියවා ගැනීමට හැකි වුණා. මෙම අර්බුදය සිදු නොවුණා නම් අප මීට වඩා යහපත් මට්ටමක පසුවීමට ඉඩ තිබුණද, සිදුවූ අර්බුද හමුවේ වුවද අප විශාල පසුබෑමකට ලක්ව නොමැති බව සඳහන් කරන්න පුළුවන්.“ 2022 ණය අර්බුදයෙන් පසු සිදු වූ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සමාලෝචනය කළ ඒ මහතා, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධානය යොමු කරන රාජ්‍ය මූල්‍ය දර්ශකවල ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කළද, ජනතාවට සෘජුවම බලපාන සාමාජීය-ආර්ථික දර්ශකවල පැහැදිලි පසුබෑමක් දක්නට ලැබුණා. අප රටේ දිළිඳුකම දෙගුණයකටත් වඩා වැඩි වූ අතර, රැකියා නියුක්තිය අතින් ශ්‍රී ලංකාවට පසුව සිටියේ බෙලීස් රාජ්‍යය පමණයි.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය. වතු කම්කරු ක්ෂේත්‍රයේ රුපියල් 200 ක වැටුප් වැඩිවීම පිළිබඳව අදහස් දක්වමින්, ඒ මහතා කියා සිටියේ, “මෙම අතිරේක රුපියල් 200 ක වැඩිවීම ඉතා ප්‍රායෝගික පියවරක් බවයි. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේදී පහළ ස්ථරයේ ජනතාව අමතක වීම නිසා ඇතිවූ අසමතුලිතතාවය යම්තාක් දුරකට හෝ මඟහරවා ගැනීමට මෙය උපකාරී වෙනවා. අපනයන මගින් කර්මාන්තයට ලැබුණු වටිනාකමේ වාසිය වතු කම්කරුවන්ට ද ලබාදෙමින්, පාරිභෝගික මිල දර්ශකය හා ගැලපීමටත්, වතු ක්ෂේත්‍රයේ පවතින ඉහළ දිළිඳුකම අවම කිරීමටත් මෙයින් යම් දායකත්වයක් හිමිවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. තවද, ප්‍රමුඛ කර්මාන්ත ක්ෂේත්‍ර ඉදිරිපත් කරන යෝජනා හුදෙක් දේශපාලන සබඳතා හෝ බලපෑම් මත පමණක් පදනම් නොවී, මහජනතාවට පැහැදිලිව තේරුම් ගත හැකි සහ සහාය දැක්විය හැකි විනිවිදභාවයෙන් යුත්, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති හරහා ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඒ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ තේ අපනයන ප්‍රජාව නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය ලෙස, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිලෝන් තේ හි තරඟකාරීත්වය ශක්තිමත් කරන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අඛණ්ඩව කටයුතු කරයි. භූ දේශපාලනික බලපෑම්, ප්‍රවාහන බාධා ඇතිවීම් සහ ස්වාභාවික ව්‍යසනයන්ගෙන් පිරි වසරක් වුවද, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සිය ශක්තිමත් බව මැනවින් පෙන්නුම් කර ඇත. කුඩා තේ වතු හිමියන් බල ගැන්වීම, ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගැනීම සහ වෙළඳපොළ විවිධාංගීකරණය සඳහා සුදුසු රාජ්‍ය ප්‍රතිපත්තිමය සහාය හිමිවන්නේ නම්, වත්මන් අභියෝග ජයගනිමින් අනාගතයේ උදාවන පාරිභෝගික අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සිලෝන් තේ කර්මාන්තය සූදානමින් සිටියි.

මෙම වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව, තේ අපනයනකරුවන්ගේ සංගමය විසින් 7 වන වරටත් සංවිධානය කළ විශිෂ්ටතම තේ නිෂ්පාදකයින් ඇගයීමේ සම්මාන උළෙල (Outstanding Tea Producers Award Ceremony) ද පැවැත්වුණු අතර, එහිදී රුහුණ, සබරගමුව, මහනුවර, දිඹුල, ඌව, නුවරඑළිය යන ප්‍රදේශවල පිහිටි හොඳම තේ වතු සහ කර්මාන්තශාලා මෙන්ම පහතරට CTC (Low Grown CTC) කාණ්ඩයේ විශිෂ්ටයින් ද ඇගයීමට ලක් කෙරිණි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top