ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්වලාභීන්ගේ භාෂා හා රංගන කුසලතා කරළියට ගෙන ආ 2026 ඉංග්‍රීසි දින අවසන් මහා තරගය සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා දින ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ මෙම තරගයට එක්වූහ.

තරගය කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ජෝන් කීල්ස් සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය සමූහාධිපති ගිහාන් කුරේ, ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලින් ජයසූරිය සහ ගේට්වේ සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් යන මහත්ම මහත්මීන් මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජෝන් කීල්ස් පදනමේ හවුල්කරුවන් ඇතුළු විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී ව්‍රායි කැලි බැල්තසාර් මහත්මිය කියා සිටියේ සිසුන්ගේ භාෂා කුසලතා සහ නිර්මාණශීලීත්වය කුළුගැන්වීම අරමුණු කරගත් මෙවැනි වැඩසටහන් සංවිධානය වනු දැකීම සතුටට කරුණක් බවයි. ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන මෙන්ම කලා පොළ වැනි විවිධ වැඩසටහන් ඔස්සේ ජෝන් කීල්ස් සමූහය ඉටුකරන මෙහෙවර තමන් බෙහෙවින් අගය කරන බවත්, රටේ සහ ජනතාවගේ යහපත සඳහා මෙවැනි කටයුතු අත්‍යවශ්‍ය බවත් එතුමිය අවධාරණය කළාය.

මේ අතර ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය පැවසුවේ, ආයතනික සමාජ වගකීම් යනු ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් බව ජෝන් කීල්ස් සමූහය විශ්වාස කරන බවයි. මෙම තරගය තුළදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙන්නුම් කළ හැකියාවන් ප්‍රශංසනීය බවත්, මෙවන් වැඩසටහන් ඔස්සේ අධ්‍යාපනය සහ රැකියා  අතර පවතින පරතරය පියවීමට සමූහය සෑම විටම උත්සාහ කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

Tier 2 මට්ටමේ කථික තරගයේ ජයග්‍රාහිකාව වූ ලිස්විතා මුනිස්වරන් පැවසුවේ, දරුදැරියන්ට මෙබඳු අවස්ථා ලබාදීම තුළින් ඔවුන්ගේ අනාගතය මෙන්ම ආකල්පද යහපත් පරිවර්තනයකට ලක්වන බවයි.

අවසන් මහා තරගයේදී කොළඹ ශාඛාවේ මාර්යම් බාලිකා විද්‍යාලය හොඳම ඉදිරිපත් කිරීම සම්මානය දිනාගත් අතර, තඹුත්තේගම ශාඛාවේ ඉහළ බුල්නෑව මහා විද්‍යාලය විසින් විශිෂ්ටතම නාට්‍යය  සම්මානය දිනාගන්නා ලදී. විශිෂ්ටතම රංගන ශිල්පියා සම්මානය දිනාගන්නා ලද්දේ මඩකලපුව ශාඛාවේ තවනායගම් ගරිසනන් විසිනි.

පාසල් දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා මෙන්ම තොරතුරු තාක්ෂණ හා මෘදු කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් 2004 වසරේදී ආරම්භ කරන ලද ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා මේ දක්වා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 23,700 ඉක්මවයි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය මාර්ග, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රි ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ආයතනික සන්නාමය ලෙසත් LMD විසින් නම් කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top