උතුරු පළාතේ ආයෝජන ප්‍රවර්ධනය හා කාර්මික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පරන්තන් සහ කන්කසන්තුරේ යෝජිත අපනයන සැකසුම් කලාප දෙක සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර, එහිදී රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් සහ ආයෝජකයන් සමඟ සාකච්ඡා පවත්වන ලදී.
යෝජිත පරන්තන් අපනයන සැකසුම් කලාපයේදී, සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා, පරන්තන් ප්‍රාදේශීය ලේකම්වරයා, ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ විදුලි බෙදාහැරීමේ සමාගමේ (Electricity Distribution Ltd) නිලධාරීන් හමුවිය.මෙම සාකච්ඡාවලදී ස්ථිර එකඟතා කිහිපයක් ඇති කර ගන්නා ලදී. ඒ අනුව, ආයෝජකයින් සඳහා ඉඩම් වෙන්කිරීම් විවෘත කිරීම 2026 නොවැම්බර් මස අවසානය වන විට ශ්‍රී ආයෝජන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිත අතර, එම භූමියේ අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2027 ජනවාරි මස ආරම්භයේදී ආරම්භ කිරීමට ද නියමිතය.
එමෙන්ම, 2026 නොවැම්බර් මාසයේදී ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් සහ ආයෝජක සංගම් සඳහා දැනුවත් කිරීමේ සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරයක් සංවිධානය කිරීමටද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරනු ඇත. පරන්තන් සහ කන්කසන්තුරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව කාර්මික කලාප ඇතුළුව උතුරු පළාතේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ආයෝජකයන්ට සෘජු අවබෝධයක් ලබාදීම එහි අරමුණ වේ.
යාපනය දිස්ත්‍රික් ලේකම්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, සිමෙන්ති සංස්ථාවේ සභාපති, ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ විදුලි බෙදාහැරීමේ සමාගම (Electricity Distribution Ltd) යන ආයතනවල නිලධාරීන් මෙන්ම කන්කසන්තුරේ ශ්‍රී ලංකා පොලිස් ස්ථානාධිපතිවරයා සහභාගී වූ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී, කන්කසන්තුරය කාර්මික කලාපයෙහි අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද 2027 ජනවාරි මස මුල් භාගය වන විට ආරම්භ කිරීමට සියලු පාර්ශ්ව එකඟ වූහ.ඒ අනුව, කලාප දෙකෙහිම සූදානම් කිරීමේ ක්‍රියාවලිය සමගාවීම ඉදිරියට ගෙන යාමට නියමිතය.
මෙම සංචාරය අතරතුර ආයෝජකයන් සමඟද සාකච්ඡා පැවැත්වුණු අතර, ආයෝජන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉඩම් තක්සේරුකරණය හා වෙන්කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හා ඒකාකාරී ක්‍රියාපටිපාටි, අදාළ රාජ්‍ය ආයතන වෙතින් අනුමැතිය හා නිෂ්කාශන ලබාගැනීම කඩිනම් කිරීම සහ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ආයෝජකයන් විසින් පෙන්වා දෙන ලදී.
ඒ අනුව ආයෝජකයන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ඒකීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් (a Single point Coordination Mechanism) ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා විසින් යෝජනා කරන ලදී. අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින්, පවතින අනුමැතීන් හා නිෂ්කාශන කඩිනම් කිරීම සහ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා ඉවත් කිරීම මෙම යාන්ත්‍රණය මඟින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා හමුවූ අවස්ථාවේදී, උතුරු පළාතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සංවර්ධන වැඩසටහන්, පරන්තන් සහ කන්කසන්තුරේ කාර්මික කලාප ක්‍රියාත්මක කිරීමේ කාලවකවානු සහ අපේක්ෂිත නිම කිරීමේ කාලසීමාවන් පිළිබඳවද දැනුවත් කරන ලදී. උතුරු පළාත තුළ ආයෝජක පහසුකම් සැලසීමේ ඒකීය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුකාරවරයාගේ සහාය ලබාගැනීමටද මෙහිදී අවධානය යොමු විය.
තවද, උතුරු පළාතේ ශ්‍රම බලකායේ පවතින කුසලතා, සුදුසුකම් සහ ශ්‍රම සම්පත් ලබාගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රාදේශීය ශ්‍රම බලකා තොරතුරු දත්ත සමුදායක්/දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක්ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. ආයෝජන ආකර්ෂණය කිරීමේදී සුදුසුකම් සහ කුසලතා සහිත ශ්‍රම බලකායක් පවතින බව පෙන්වාදීම වැදගත් සාධකයක් වන බැවින්, මෙම වැඩසටහන මඟින් උතුරු පළාතේ මානව සම්පත ආයෝජකයන් වෙත වඩාත් ඵලදායී ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී මුහුදු කූඩැල්ලන් සහ මුහුදු පැළෑටි වගා ව්‍යාපෘති නිරීක්ෂණය කරමින් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, එම කර්මාන්ත වාණිජමය වශයෙන් පුළුල් කර අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු විය. එමඟින් උතුරු පළාත තුළ රැකියා සහ ආදායම් උත්පාදනය කිරීමේ සැලකිය යුතු විභවයක් පවතින බව හඳුනාගෙන තිබේ.
පරන්තන් සහ කන්කසන්තුරේ කාර්මික කලාප සංවර්ධනය සඳහා නිශ්චිත කාලසටහන් ක්‍රියාත්මක කිරීම, ආයෝජක පහසුකම් සැලසීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, ශ්‍රම බලකා තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීම සහ නව අපනයන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම හරහා උතුරු පළාතේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරමින් සිටී.
උතුරු පළාතේ පවතින ආයෝජන විභවය තිරසාර රැකියා උත්පාදනය, ආදායම් වර්ධනය සහ දිගුකාලීන ආර්ථික සංවර්ධනය සඳහා යොදාගැනීම සඳහා ආයෝජකයන් සහ ප්‍රාදේශීය පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අඛණ්ඩව කැපවී සිටී.
අද දෙරණ
