පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, ණය ශ්‍රේණිගත, ආරක්ෂිත හා ආපසු ගෙවිය හැකි ණයකර නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ. මෙය බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරයි.
එක් ණයකරයක නාමික වටිනාකම රුපියල් 100ක් වන අතර එම ණයකර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය.
වසර තුනක කල් පිරීමක් සහිත ණයකර සඳහා වාර්ෂිකව ගෙවනු ලබන 12.75%ක පොලී අනුපාතයක්ද වසර පහක කල් පිරීමක් සහිත ණයකර සඳහා වාර්ෂිකව ගෙවනු ලබන 13.50%ක පොලී අනුපාතයක්ද පිරිනැමේ. ලංකා රේටින් ඒජන්සි මෙම ණයකර නිකුතුවට ස්ථාවර ඉදිරි දැක්මක් සහිත BBB+ ණය ශ්‍රේණිගත කිරීමක් දී තිබේ. කොමර්ෂල් බැංකුවේ ආයෝජන බැංකුකරණ ඒකකය මෙම ණයකර නිකුතුව කළමනාකරණය කළ අතර SSP Corporate Services Pvt Ltd නිකුතුවේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කළේය.
ආයෝජකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය පෑන් ඒෂියා බැංකුව සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් දිගු කාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට බැංකුව අනුගමනය කරන ප්‍රවේශය කෙරෙහි පවතින අඛණ්ඩ විශ්වාසය තහවුරු කරන බව බැංකුව සඳහන් කළේය. ‘සැබෑම ශ්‍රී ලාංකීය බැංකුව’ ලෙස සිය අනන්‍යතාව ගොඩ නඟා ගෙන ඇති පෑන් ඒෂියා බැංකුව පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සපුරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා සිය කාර්යභාරය තව දුරටත් ශක්තිමත් කරමින් සිටී.
ඡායාරූප විස්තරය: පෑන් ඒෂියා බැංකුවේ සභාපති බී. ඩී. ඒ. පෙරේරා සහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ
