ඕස්ට්‍රේලියාවේ ‘Custom Denning’ වෙතින් ශ්‍රී ලංකාවේ දැවැන්ත විදුලි බස් රථ නිෂ්පාදන ව්‍යාපෘතියකට යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning, ශ්‍රී ලංකාව තුළ දැවැන්ත විදුලි බලයෙන් ධාවනය වන බස් රථ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කරයි. විදේශීය සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ විදුලි බස් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කිරීමට යෝජිත විශාලතම ආයෝජනය මෙය වන අතර, එමඟින් දේශීය පොදු ප්‍රවාහන පද්ධතිය සවිබලගැන්වීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ වෙත විදුලි බලයෙන් ධාවනය වන බස් රථ අපනයනය කිරීම ද ඉලක්ක කෙරේ.

ගෝලීය වෙළඳපොළේ ඉහළ යන ඩීසල් මිල හමුවේ ශ්‍රී ලාංකේය ප්‍රවාහන ක්ෂේත්‍රය මුහුණ දී ඇති දැඩි අභියෝගයන්ට මෙම ව්‍යාපෘතිය මඟින් දීර්ඝකාලීන විසඳුමක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට භාවිත වන පතුල පහත් ඩීසල් බස් රථ හා සැසඳීමේ දී, වසර 15ක කාලයක් තුළදී මෙම විදුලි බස් රථ භාවිතයෙන් සමස්ත මෙහෙයුම් පිරිවැය 50%කින් පමණ අඩු කරගත හැකි බව Custom Denning සමාගම පුරෝකථනය කර ඇත . එමඟින් මෙරට ප්‍රවාහන පිරිවැය සැලකිය යුතු ලෙස පහත යනු ඇති අතර, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රථවාහන ජාත්‍යන්තරයට යැවීමේ නව ආර්ථික අවස්ථා රැසක් ද විවෘත වේ.

විදේශයන්ගෙන් ආනයනය කරන කොටස් එකලස් කිරීමට පමණක් සීමා නොවී, බස් රථවල චැසි (Chassis) සහ බඳ කොටස් (Body) ශ්‍රී ලංකාව තුළදීම නිෂ්පාදනය කිරීමට මෙහිදී සැලසුම් කර ඇත. ජාත්‍යන්තර රථවාහන ප්‍රමිතීන්ට අනුකූලව දේශීය උපාංග සැපයුම්කරුවන් සවිබලගැන්වීමත්, නවීන තාක්ෂණය මෙරටට හුවමාරු කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයකි. මීට අමතරව යුරෝපීය තාක්ෂණික සහකරුවෙකුගේ දායකත්වය ඇතිව දේශීයව විද්‍යුත් වාහන බැටරි එකලස් කිරීමේ කර්මාන්තය ආරම්භ කිරීමට ද යෝජනා වී ඇති අතර, එමඟින් නවතම බැටරි තාක්ෂණය ශ්‍රී ලංකාවට හිමි වන අතරම ඊට අනුබද්ධිත නව කර්මාන්ත ක්ෂේත්‍ර රැසක් බිහි කිරීමට මඟපෑදේ.

වසර 50කට වැඩි නිෂ්පාදන අත්දැකීම් සහිත Custom Denning සමාගමේ ඕස්ට්‍රේලියානු තාක්ෂණික දැනුම සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉංජිනේරු කාර්යාලය පදනම් කරගනිමින් ඉදිකිරීමට යෝජිත  මෙම නිෂ්පාදනාගාරය හරහා දේශීය ඉංජිනේරුවන්ට, තාක්ෂණික ශිල්පීන්ට සහ වෘත්තිකයන්ට සෘජු රැකියා අවස්ථා හිමි වනු ඇති බව එම සමාගම පෙන්වා දෙයි. එමෙන්ම උපාංග සැපයුම් ක්ෂේත්‍රය තුළ වක්‍ර රැකියා රැසක් නිර්මාණය වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව්‍යාපෘති සමඟ කටයුතු කිරීමට ලැබීම දේශීය ශ්‍රම බලකායේ කුසලතා සහ නිෂ්පාදන දැනුම තවදුරටත් වර්ධනය වන වටිනා අවස්ථාවක් වනු ඇත

මෙම ව්‍යාපෘතිය මඟින් ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කරගැනීමට හැකිවන අතර, බාහිර ආර්ථික බලපෑම්වලට ඔරොත්තු දිය හැකි ස්වාධීන ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමට ද පිටුවහලක් ලැබෙනු ඇත. විදුලි බස් තාක්ෂණය, දේශීය නිෂ්පාදනය, බැටරි එකලස් කිරීම සහ අපනයන හැකියාව එකිනෙකට යාකරන මෙම පූර්ණ විසඳුම හරහා, ශ්‍රී ලංකාව කලාපීය විදුලි බස් රථ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම Custom Denning සමාගමේ ප්‍රධාන අරමුණයි. වැඩිදුර තොරතුරු www.customdenning.lk  හෝ www.customdenning.com.au  වෙතින් ලබාගත හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top