2030 වන විට මුහුදු ආහාර අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 680 දක්වා ළඟා කර ගැනීමේ ප්‍රධාන ගාමක බලවේග ලෙස ආයෝජන දිරිගැන්වීම්, ධීවර සංවර්ධනය සහ වෙළඳ ප්‍රතිසංස්කරණ SEASL අවධාරණය කරයි.
ආයෝජන වේගවත් කිරීමට, අගය එකතු කළ මුහුදු ආහාර සැකසුම් කටයුතු පුළුල් කිරීමට, තිරසාර ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරගකාරිත්වය ඉහළ නැංවීමට මෙම යෝජනාවලින් ලැබෙන අවස්ථා සැලකිල්ලට ගනිමින්, රජයේ 2027 අයවැය යෝජනා සඳහා ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය (SEASL) සිය ප්‍රබල සහයෝගය පළ කර ඇත.
ධීවර හා මුහුදු ආහාර අපනයන කර්මාන්තයේ උපායමාර්ගික වැදගත්කම හඳුනාගැනීම පිළිබඳව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සංගමය සිය කෘතඥතාව පළ කරයි. එමෙන්ම, ක්ෂේත්රය සංවර්ධනය කිරීම සහ ධීවර ප්‍රජාවන්ට සහාය වීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාට සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මැතිතුමාට ද SEASL සිය ස්තුතිය පුද කරයි.
අඛණ්ඩ ආයෝජන, වැඩිදුර අගය එකතු කිරීම, නවීන යටිතල පහසුකම් සහ කාර්යක්ෂම වෙළෙඳ ප්‍රතිපත්ති මඟින් කර්මාන්තයට සහාය ලැබෙන්නේ නම්, 2030 වන විට වාර්ෂික මුහුදු ආහාර අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් දක්වා ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි SEASL විශ්වාස කරයි.
මූල්‍යකරණ සහ ආයෝජන දිරිගැන්වීම්
සුදුසුකම් ලබන මහා පරිමාණ ධීවර ව්‍යාපාර සඳහා වාර්ෂික 5%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 500ක් දක්වා ණය ලබාදීමට යෝජිත සහනදායී මූල්‍ය යෝජනා ක්‍රමය; සැකසුම් ධාරිතාව ඉහළ නැංවීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම සහ ශීත දාම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන ආයෝජන වේගවත් කිරීමට වැදගත් අවස්ථාවකි.
අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ආයෝජනයක් සහිත, ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් සුදුසුකම් ලබන අපනයන-අභිමුඛ නිෂ්පාදන ආයෝජන සඳහා යෝජිත 200%කින් ඉහල නැංවූ ප්‍රාග්ධන දීමනාව මගින්, ව්‍යාපාර පුළුල් කිරීම, නව සැකසුම් පහසුකම් ස්ථාපිත කිරීම සහ ඉහළ වටිනාකමක් සහිත මුහුදු ආහාර නිෂ්පාදන සංවර්ධනය කිරීම තවදුරටත් දිරිමත් කළ හැකිය.
මෙම ක්‍රියාමාර්ග මඟින් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සැකසුම් හැකියාවන් ශක්තිමත් කිරීමටත්, සමස්ත කර්මාන්තය තුළ අමතර රැකියා අවස්ථා ඇති කිරීමටත් හැකි වනු ඇත.
අගය එකතු කිරීම සහ අපනයන වර්ධනය
විශේෂයෙන් සැකසීම සඳහා අමුද්‍රව්‍ය ආනයනය කර නිමි භාණ්ඩ නැවත අපනයනය කිරීම තුළින්, අගය එකතු කළ සැකසුම් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර කර්මාන්තයට ඇති සැලකිය යුතු විභවය මේ වන විටත් පෙන්නුම් කර තිබේ.
2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මුහුදු ආහාර අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 246.12ක ආදායමක් උපයා ඇති අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 64ක් අගය එකතු කළ නිෂ්පාදනවලින් ලැබී තිබේ. එය සමස්ත අපනයන ආදායමෙන් 26%ක් වන අතර, 2022 වසරේදී එම ප්‍රතිශතය 4%ක් පමණක් විය.
මෙම වර්ධනයෙන් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලාංකික සැකසුම්කරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළවලින් අමුද්‍රව්‍ය සපයා ගැනීමටත්, මෙරටදී ඒවාට අගය එකතු කර ගෝලීය වෙළෙඳපොළ වෙත සැපයීමටත් ඉඩ සලසන ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමයි.
කර්මාන්තශාලාවල ධාරිතාව උපරිමයෙන් භාවිත කිරීම, රැකියා අවස්ථා පුළුල් කිරීම සහ විදේශ විනිමය ආදායම ඉහළ නැංවීම සඳහා අගය එකතු කිරීමේ කටයුතු වෙනුවෙන් ආනයනික අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබාගැනීමට ඇති හැකියාව අත්‍යවශ්‍ය බව SEASL අවධාරණය කරයි.
අපනයන සැකසුම් සඳහා වන තාවකාලික ආනයන යෝජනා ක්‍රමය (TIEP) නවීකරණය කිරීම, රේගු ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සහ වෙළෙඳාම සඳහා ජාතික තනි කවුළුව (National Single Window) ස්ථාපිත කිරීම යන යෝජිත ක්‍රියාමාර්ග මඟින් දැනට පවතින ක්‍රියාපටිපාටි සරල කිරීමට, පිරිවැය අඩු කිරීමට සහ අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීමට හැකි වනු ඇත.
ධීවර යටිතල පහසුකම්, ජලජීවී වගාව සහ තිරසාරභාවය
පේසාලෙයි වරාය සහ ධීවර යාත්‍රා නැංගුරම් ස්ථාන ඇතුළුව උතුරු ප්‍රදේශයේ ධීවර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෝජිත රුපියල් බිලියන 5ක ආයෝජනයට සංගමය සහාය පළ කරයි. මෙමඟින් මත්ස්‍ය අස්වැන්න ගොඩබෑමේ පහසුකම් සහ එය හැසිරවීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමටත්, වෙරළබඩ ප්රජාවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ ජලජීවී වගාකරුවන්ට විවෘත වන අවස්ථා පිළිබඳව SEASL විශේෂයෙන් සතුටු වන අතර, මුහුදු ආහාර අපනයන කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය සඳහා ඔවුන්ට වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව විශ්වාස කරයි.
“විශේෂයෙන් ඉස්සන් වගාවේ නිරත අපගේ ජලජීවී වගාකරුවන්ට ඉදිරියේදී උදා වන අවස්ථා පිළිබඳව අපි ඉතා උද්යෝගිමත්. නිෂ්පාදනය පුළුල් කිරීමට, ග්‍රාමීය ප්‍රදේශවල රැකියා උත්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයන ශක්තිමත් කිරීමට ඔවුන්ට වැදගත් දායකත්වයක් ලබා දිය හැකියි. කර්මාන්තයක් ලෙස, ඔවුන්ගේ වර්ධනයට සහාය වීමට, ආයෝජන දිරිගැන්වීමට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ වගාකරුවන් සම්බන්ධ කිරීමට අපි කැපවී සිටිනවා,” යැයි ඩිලාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
තරගකාරී මෙන්ම තිරසාර ජලජ වගා කර්මාන්තයක් ගොඩනැගීම සඳහා ජලජ වගාකරුවන්, සැකසුම්කරුවන් සහ අපනයනකරුවන් අතර වඩාත් සමීප සහයෝගීතාවක් අත්‍යවශ්‍ය බව සංගමය විශ්වාස කරයි.
තිරසාර ධීවර සම්පත් කළමනාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 1ක ප්රතිපාදනය ද ඒ හා සමානව වැදගත් වේ. විද්‍යාත්මක පදනමක් මත මත්ස්‍ය සම්පත් තොග තක්සේරු කිරීම, වාසස්ථාන සිතියම්ගත කිරීම සහ ඒවා අධීක්ෂණය කිරීම ද ඊට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ වයඹදිග නිල් පිහිනුම් කකුළුවන් ධීවර කර්මාන්තයට මෑතකදී හිමි වූ සාගර භාරකාරත්ව කවුන්සිලයේ (Marine Stewardship Council – MSC) සහතිකය, වගකීම්සහගත ධීවර කළමනාකරණයේ සහ ජාත්‍යන්තරව පිළිගත් තිරසාරභාව ප්‍රමිතීන්ගේ වැදගත්කමත්, ප්රමුඛපෙළේ අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට ඒවා දක්වන දායකත්වයත් පෙන්නුම් කරයි.
විද්‍යාත්මක කළමනාකරණය, නිෂ්පාදන සම්භවය හා සැපයුම් දාමය ඔස්සේ ඒවායේ ගමන්මඟ සොයාගැනීමේ හැකියාව (traceability) සහ ජාත්‍යන්තර සහතිකකරණය ශක්තිමත් කිරීම සඳහා රජයේ ආයතන, පර්යේෂණ සංවිධාන, ධීවර ප්‍රජාවන්, ජලජ වගාකරුවන් සහ අපනයනකරුවන් අතර අඛණ්ඩ සහයෝගීතාවක් පවත්වාගෙන යාම SEASL දිරිමත් කරයි.
වෙළෙඳ පහසුකම් සැලසීම සහ වෙළෙඳපොළ සංවර්ධනය
යෝජිත රේගු ප්‍රතිසංස්කරණ, TIEP යෝජනා ක්රමයේ වැඩිදියුණු කිරීම් සහ තෝරාගත් තීරුබදු කාණ්ඩ සඳහා වන සෙස් (CESS) බදු අනුපාත අඩු කිරීම මඟින් ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනවල තරගකාරිත්වය ඉහළ නැංවිය හැකිය.
විශේෂයෙන්ම යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව සහ මැදපෙරදිග වෙළෙඳපොළවල ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට ගනු ලබන උත්සාහයන්ට ද සංගමය සහාය පළ කරයි.
ආහාර සුරක්ෂිතතාව, තිරසාරභාවය සහ නිෂ්පාදන නවෝත්පාදනය සඳහා අඛණ්ඩ ආයෝජන සමඟ මෙම ක්‍රියාමාර්ග ඒකාබද්ධව ක්‍රියාත්මක කළහොත්, අගය එකතු කළ මුහුදු ආහාර සැකසුම් සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කළ හැකි බව SEASL විශ්වාස කරයි.
යෝජනා කාලෝචිතව ක්‍රියාත්මක කරන ලෙස කර්මාන්තයේ ඉල්ලීම
අයවැය මඟින් දිරිගන්වනසුලු ප්‍රතිපත්තිමය දිශානතියක් සපයා ඇතත්, රටේ අපනයන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එම යෝජනා කාලෝචිතව ක්‍රියාත්මක කිරීමත්, රජය සහ කර්මාන්තය අතර සමීප සහයෝගීතාවත් අත්‍යවශ්‍ය බව SEASL අවධාරණය කරයි.
“ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට මුහුදු ආහාර කර්මාන්තයට ඇති හැකියාව හඳුනාගැනීම පිළිබඳව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටත්, ධීවර ක්ෂේත්රය ශක්තිමත් කිරීමට දක්වන කැපවීම වෙනුවෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රශේකර් මහතාටත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාටත් අපි ස්තුතිවන්ත වෙනවා,” යැයි ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ ඩිලාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
“යෝජිත මූල්‍ය පහසුකම් මගින්, ආයෝජන දිරිගැන්වීම් සහ ධීවර ක්ෂේත්රයේ සංවර්ධන වැඩසටහන් වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයනවා. අගය එකතු කිරීම තුළින් අත්කර ගත හැකි දේ අපගේ කර්මාන්තය දැනටමත් පෙන්නුම් කර තිබෙනවා. මුහුදු ආහාර අපනයන ආදායමට අගය එකතු කළ නිෂ්පාදනවල දායකත්වය 2022දී 4%ක්ව පැවති අතර, 2026 වසරේ පළමු මාස නවය තුළ එය 26%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.”
“දැන් අපගේ ප්‍රමුඛතාව විය යුත්තේ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමයි. අපනයනකරුවන්ට මෙම දිරිගැන්වීම් ලබාගැනීමට හැකි බවත්, අගය එකතු කළ සැකසුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය අනවශ්‍ය සීමාවලින් තොරව අඛණ්ඩව සිදු කළ හැකි බවත්, තිරසාර ධීවර කළමනාකරණය ජාතික ප්‍රමුඛතාවක් ලෙස පවත්වාගෙන යන බවත් අප සහතික කළ යුතුයි. නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ නම්, 2030 වන විට මුහුදු ආහාර අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයන පුළුල් කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, රැකියා උත්පාදනය කිරීමට සහ ගෝලීය මුහුදු ආහාර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීමට රජය, ධීවර ප්‍රජාවන්, ජලජ වගාකරුවන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට ඇති සිය කැපවීම SEASL නැවත තහවුරු කරන ලදී.
අවසානයි
නිකුත් කළේ:
ඩිලාන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය (SEASL)
