පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම ස්ථාපිත කිරීමේ මූලික කටයුතු ඇරඹෙයි

ආර්ථික ස්ථාවරත්වය හා නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාලීම සඳහා නවෝත්පාදන සහ පර්යේෂණ ක්ෂේත්‍රය නව මාවතකට යොමු කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින් ‘පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම’ පිහිටුවීම සඳහා 2026-06-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, ජනාධිපති ලේකම් විසින් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව පත් කරනු ලැබ ඇති විශේෂඥ කමිටුවක් විසින් යෝජිත කොමිසම සහ ඊට අනුබද්ධිත කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට පදනම් කර ගැනීම පිණිස සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ තිබේ. 

එම සංකල්ප පත්‍රිකාව අනුව ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන පද්ධතිය උපායමාර්ගිකව හැසිරවීම, සම්බන්ධීකරණය, නිරීක්ෂණය සහ සංවර්ධනය සම්බන්ධයෙන් වගකියනු ලබන මධ්‍යගත ආයතනය ලෙස ජාතික පර්යේෂණ හා සංවර්ධන කොමිසම කටයුතු කරනු ඇත. 

එමෙන්ම, වඩාත් කාර්යක්ෂම ජාතික පර්යේෂණ හා සංවර්ධන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් යෝජිත පාලන ව්‍යුහය, ආයතනික විධිවිධාන සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා වන නිර්දේශ ද එම සංකල්ප පත්‍රිකාව මඟින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම සහ ඊට අනුබද්ධ කාර්යාලය ස්ථාපිත කිරීම වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස ජනාධිපතිවරයා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පසුගිය සඳුදා (16) පැවති කැබිනට් හමුවේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top