මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.12 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා කරන ලද රු. බිලියන 3.01ට සාපේක්ෂව 29%ක පහළ යාමක් වේ.
පසුගිය කාර්තුවේ මෙම මූල්‍ය කාර්ය සාධනයක් සමඟම 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 සඳහා සමාගම විසින් වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 8.42 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 වාර්තා කර ඇති රු. බිලියන 10.52 ක ලාභ අගය හා සැසඳීමේ දී 19% ක පහළ බැසීමකි.
2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී ලංකා IOC සමාගම රු. බිලියන 62.45ක ආදායමක් වාර්තාකර ඇති අතර එය 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා වී ඇත්තේ රු. බිලියන 72.02ක් ලෙසයි.
විකුණුම් පිරිවැය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 58.16 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා වී ඇත්තේ රු. බිලියන 67.01 ක් ලෙසයි.
මේ අතර අද (20) දිනයේ දී ලංකා IOC සමාගමේ කොටස් මිලෙහි පහළ යාමක් දක්නට ලැබී තිබේ.