අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය අත්හිටුවීමට එරෙහිව අදාළ සමාගම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ සංවර්ධකයා වන Amber Adventure සමාගම, ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇති වී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස පවසමින් රාජ්‍ය බලධාරීන් විසින් අත්තනෝමතික ලෙස බාධා කිරීමක් සිදු කර ඇති බවට ඔවුන් එහිදී පවසා සිටියි.

එම සමාගම පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත සිය සමාගමට සිදු වන පාඩුව පියවා ගැනීම සඳහා ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත පසුගිය දා දැනුම්දීමක් සිදුකර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද හදිසි නිවේදනයක, සමාජ මාධ්‍යවල සංසරණය වූ පැමිණිලි සහ තොරතුරු උපුටා දක්වමින්, ස්ථාන පරීක්ෂාවක් සිදු කරන තෙක් අම්බුළුවාවෙහි සිදු කරනු ලබන සියලු ව්‍යාපෘති සංවර්ධන කටයුතු අත්හිටුවීමට නියෝග කරමින් මධ්‍යම පරිසර අධිකාරියෙන් (CEA) විසින් 2026 ජනවාරි 9 වැනි දින ලිපියක් යොමු කර ඇති බව Amber Adventure සමාගම පවසා සිටියි.

Amber Adventure සමාගම ප්‍රකාශ කළේ අත්හිටුවීම නීති විරෝධී බවත් එය ව්‍යාපෘතියේ ශක්‍යතාව බරපතල අවදානමකට ලක් කර ඇති බවත්ය.

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට අත්සන් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කළේ 2023 වසරේ නොවැම්බර් මාසයේදී යි.

කෙසේ වෙතත් අදියර දෙකකින් යුත් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 12.75 ක මුළු ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් පමණ දැනටමත් වැය කර ඇති බව සමාගම අනාවරණය කළේය.

වාර්තා වන පරිදි, ශ්‍රී ලංකාවේ, එක්සත් ජනපදයේ සහ චීනයේ ආයෝජකයින්ගේ හවුල්කාරිත්වයක් හරහා මෙරට ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ පැවති 2022 වසරේ දී මෙම ආයෝජනය සඳහා එළඹ ඇති බවට වාර්තා වෙයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉදිකිරීම්-මෙහෙයුම්-පැවරීම (BOT) ආකෘතියක් යටතේ වන අතර, ඒ යටතේ ආයෝජකයා සියලු මූල්‍ය, තාක්ෂණික සහ ව්‍යාපෘති අවදානම් දරයි.

සමාගමට අනුව, ගිවිසුම මඟින් වසර 13 ක කාලයක් තුළ ඉදිකිරීම් සඳහා වසර 3ක් සහ මෙහෙයුම් සඳහා වසර 10ක් ලබා දී ඇති අතර ඉන් පසුව රුපියල් බිලියන 5 කට වඩා ඉහළ වටිනාකමකින් යුත් සමස්ත ව්‍යාපෘතියම කිසිදු වියදමකින් තොරව ශ්‍රී ලංකා රජයට පවරා දීමට සැලසුම් කර ඇත.

මේ සඳහා ගිවිසුම්ගත වීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය (UDA), අමාත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු බහුවිධ රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබාගෙන ඇති බවත්, මුළු කාලය පුරාම ආයෝජන මණ්ඩල ක්‍රියාපටිපාටි අනුගමනය කර ඇති බවත් Amber Adventure සමාගම අවධාරණය කර සිටියි.

උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධ පෙර නීතිමය ආරවුලක් ගැන සඳහන් කරමින්, ඇතැම් නිලධාරීන්ගේ අඛණ්ඩ මැදිහත්වීම් ද සමාගම උපුටා දකිවයි. CA WRIT 656/2024 නඩුවට අදාල අභියාචනාධිකරණයේ දත්ත උපුටා දක්වමින් සමාගම පෙන්වා දෙන්නේ, අදාල නිලධාරිනිය අකටයුතු ලෙස ක්‍රියා කර ඇති බවට අධිකරණය ඉදිරියේ තහවුරු වූ බවත්, ඇයට රු. 100,000 ක වියදම් පෞද්ගලිකව ගෙවීමට නියෝග කළ බවත්ය.

ඉදිකිරීම් හේතුවෙන් නායයෑම් සිදුවී ඇති බවට සමාජ මාධ්‍යවල පැතිර යන චෝදනා සම්බන්ධයෙන් Amber Adventure සමාගම පවසා සිටියේ එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් ඉදිකිරීම් ස්ථාන තුනේම ස්ථායිතාව තහවුරු වූ අතර නායයෑම් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවූ බව එහි සඳහන් වූ බව ද සමාගම පවසා සිටියි.

Amber Adventure සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස අඛණ්ඩ බාධා කිරීම් ආයෝජකයින්ගේ විශ්වාසය අඩපණ කරන අතර ශ්‍රී ලංකාවේ ආයෝජන ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු කරන බවයි. ව්‍යාපෘතිය අවසන් කිරීම සහ පාඩු අයකර ගැනීම පිළිබඳව දැනටමත් කොටස්කරුවන් සහ නීති උපදේශකයින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ද සමාගම පවසා සිටියි.

“We reserve our rights in law to seek restitution of investment, financial losses and damages,” යනුවෙන් සමාගම ප්‍රකාශ කළ අතර, ජාතික අවශ්‍යතා වෙනුවෙන් කඩිනමින් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් Amber Adventure සමාගම ඉල්ලා සිටියේය.

අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top