සෙලාන් බැංකුව වින්ඩ්ෆෝර්ස් සහ විදුල්ලංකා සූර්ය බල ව්‍යාපෘතියේ දෙවන අදියරටත් මූල්‍ය පහසුකම් සපයයි

සෙලාන් බැංකුව මෑතකදී සූර්යශක්ති (පුද්ගලික) සමාගම විසින් මඩකලපුවේ නාවට්කාඩු ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සූර්ය බලාගාරය සඳහා මූල්‍ය හවුල්කරු ලෙස කටයුතු කළේය. සූර්යශක්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගම් දෙකක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (Windforce PLC) සහ විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) විසින් ඒකාබද්ධව හිමිකාරීත්වය දරනු ලබන සමාගමකි.

නව බලාගාරය විවෘත කිරීමේ පසුගියදා මඩකලපුවේ නාවට්කාඩු හිදී, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙගාවොට් 10 සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් වූ මෙහි ප්‍රථම අදියර මීට ඉහතදී සාර්ථකව අවසන් වූ අතර, රටේ සූර්ය බලශක්ති නිෂ්පාදනය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සූර්යශක්ති සමාගම විසින් එහි දෙවැනි අදියරද (මෙගාවොට් 10) ආරම්භ කරන ලදී. මෙහි එකම මූල්‍ය පහසුකම් සම්පාදකයා ලෙස, ව්‍යාපෘතියේ අදියර දෙකම ආවරණය වන පරිදි, ඉස්ලාම් බැංකුකරණ මූලධර්මවලට අනුකූලව රු. බිලියන 3.5 ක මූල්‍ය පහසුකම් සපයන ලද්දේ සෙලාන් බැංකුව විසිනි.

පළමු අදියරේ සූර්ය බලාගාරය ඉදිකරන ලද ස්ථානයට යාබදව, පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින ඉඩමක මෙම නව බලාගාරය ඉදිකර තිබේ.  මෙය බලශක්ති ස්වාධීනත්වය සහ පාරිසරික තිරසාරත්වය සම්බන්ධ ජාතික ඉලක්ක ළඟා කරගැනීමට සහය වන අතරම ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම සඳහා සුවිශාල අත්වැලක් වනු ඇත.

“අපගේ අරමුණ වුණේ වින්ඩ්ෆෝර්ස් සහ විදුල්ලංකා සමග එක් වී ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමයි. මෙවැනි නව්‍ය මූල්‍ය සම්පාදන විසඳුම් තුළින් රටේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමට දිගින් දිගටම අත්වැලක් වීමට අප බලාපොරොත්තු වනවා.” සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසීය.

සෙලාන් බැංකුව මීට පෙරද විවිධ අවස්ථාවලදී මෙරට යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘති රැසක් සඳහා මූල්‍ය පහසුකම් සපයා තිබේ. මෙවැනි තිරසාර මූල්‍ය විසඳුම් ඔස්සේ, අනාගත අභියෝගවලට මුහුණ දීමට හැකි වන ආකාරයට රටේ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සෙලාන් බැංකුව අරමුණ වී ඇත. දේශීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට මූල්‍ය පහසුකම් සැපයීමට සමත් වීම නිසා සෙලාන් බැංකුව මේ වන විට මෙබඳු ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත.

එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමේ උත්සාහය තුළදී පෞද්ගලික අංශය හා මූල්‍ය ආයතනය අතර සහයෝගීත්වය කෙතරම් වැදගත්ද යන්නට මනා සාක්ෂියකි. වින්ඩ්ෆෝර්ස් සහ විදුල්ලංකා යන සමාගම් විසින් ඒකාබද්ධ හිමිකාරීත්වය දැරීම මගින් ව්‍යාපෘතියට ශක්තිමත් තාක්ෂණික හා මෙහෙයුම් පදනමක් හිමි වී ඇති අතර, එය ව්‍යාපෘතියේ දීර්ඝකාලීන සාර්ථකත්වයට බෙහෙවින් වැදගත් වනු ඇත.

මෙම බලාගාරය කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කරමින් ප්‍රදේශයේ නිවාස දහස් ගණනක බලශක්ති ඉල්ලුම සපුරාලනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දේශීය හා ජාත්‍යන්තර පාරිසරික හා බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා ගනු ලබන ජාතික තලයේ උත්සාහයක තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක.

ඡායාරූපය (වමේ සිට): සෙලාන් බැංකුවේ සම්බන්ධතා කළමනාකරු (ව්‍යාපෘති මූල්‍ය) අයන්තා පීරිස්, එම බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ප්‍රධානී සමීර් මොහොමඩ්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික බැංකුකරණ) නිලන්ති ද මෙරල්, විදුල්ලංකා පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාස් සංගානි, සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා, එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී රුසිරි කුරේ, එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික මූල්‍ය) ලලිත් හේවාගම සහ සෙලාන් බැංකුවේ ව්‍යාපෘති මූල්‍ය ප්‍රධානී චාමිකර ද සිල්වා යන මහත්ම මහත්මීන්

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top