
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් හඳුනාගෙන, ඒවාට අවශ්‍ය මාර්ගෝපදේශනය සහ සහාය ලබා දීම තුළින් එම ව්‍යවසායන් ඉහළ තලයකට ගෙන යෑමට උපකාර කිරීම මෙම ජාතික මට්ටමේ වැඩසටහනෙහි මූලික අරමුණයි. සම්පත් බැංකුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම වැඩසටහනේදී හඳුනාගත් ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කිරීමේ විශේෂ ඇගයීම් වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි. ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් සහ ආයතනික හවුල්කරුවන් රැසක් එක්වූ මෙම අවස්ථාව, කාන්තාවන්ගේ ව්‍යවසායක හැකියාවන්ට ශක්තියක් එක් කළ අර්ථවත් පියවරක් වශයෙන් සනිටුහන් විය.
කාන්තා ව්‍යවසායිකාවන්ගේ ධෛර්යවන්තභාවය සහ කැපවීම තුළින් කුටුම්භයේ ආදායම් ඉහළ නැංවීමෙන් පමණක් නොව, නව රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීම හරහා ප්‍රජා සංවර්ධනයට දායක වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර කිරීමට දායකත්වයක් ලබා දෙයි. මෙහිදී විධිමත් මුල්‍ය අංශ වෙත යොමු වීමේ ප්‍රවණතාවය තවමත් සීමිත වන අතර, තාක්ෂණික දැනුම සඳහා ප්‍රවේශවීමේ අඩු ප්‍රවණතාවය සහ සීමිත වෙළෙඳපොළ අවස්ථාවන් වැනි ප්‍රායෝගික අභියෝග රැසකට කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන බව පෙනී යයි. එම යථාර්ථය හඳුනාගත් මෙම වැඩසටහන, කාන්තා ව්‍යවසායිකාවන්ගේ සිහින ශක්තිමත් හා පුළුල් ව්‍යාපාර බවට පත් කිරීමේ අරමුණින් අදියරයන් කිහිපයකින් යුත් දීර්ඝකාලීන මුලපිරීමක් ලෙස ක්‍රියාත්මක වේ. දැනුම, උපදේශකත්වය සහ අරමුදල් ලබා දීම සඳහා ඔවුන් එකම වේදිකාවකට ඒකරාශී කරමින් කාන්තාවන්ට අභියෝග ජය ගැනීමටත්, සිය ව්‍යාපාර ගමන විශ්වාසයෙන් යුතුව සිදු කරගෙන යාමටත් මෙම වැඩසටහන මනා පිටිවහලක් සපයනු ලබයි.

මෙම වැඩසටහනේ වැදගත්කම සහ දිගුකාලීන දැක්ම පිළිබඳව අදහස් දක්වමින්, සම්පත් බැංකුවේ ප්‍රධාන පරිවර්ථන නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා මෙසේ පැවසීය. “කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම යනු සමාජ වගකීමක් පමණක් නොව, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයක් බව සම්පත් බැංකුව දැඩිව විශ්වාස කරනවා. “සම්පත් සවිය” ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන හරහා, ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමට ඉවහල් වන අදහස්, හැකියාවන් සහ අභිලාෂයන් වෙනුවෙන් ආයෝජනය කරමින්, දිරිය කාන්තාවන්ගේ සිහින සැබෑ ව්‍යාපාර බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, ලාංකේය කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර 200ක් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දැනුම, හැකියාවන් සහ ආත්ම විශ්වාසය ගොඩනැංවීමයි. එමෙන්ම, මෙම වැඩසටහනෙන් තෝරා ගනු ලබන කාන්තා ව්‍යවසායිකාවන්ට ජාතික ආර්ථිකයට ඍජුවම දායක විය හැකි පරිදි අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ලබා දීම ද සම්පත් බැංකුවේ අපේක්ෂාවයි”
මෙම වැඩසටහනේ පළමු අදියර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වූ අතර, එහිදී දිවයින පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් 100කට අධික පිරිසක් සාර්ථකව හඳුනා ගන්නා ලදී. තෝරාගත් කාන්තා ව්‍යවසායිකාවන්, ව්‍යාපාර සැලසුම්කරණය, මුල්‍ය සාක්ෂරතාවය සහ වෙළෙඳපොළ අවස්ථාවන් පිළිබඳව අවබෝධය ගොඩනැංවෙන ලෙස පුහුණු සැසි මාලාවකට එක් කරමින්, ඔවුන්ගේ ව්‍යවසායන් විධිමත් කර ගැනීමට, ශක්තිමත් කර ගැනීමට සහ අලුත් අවස්ථාවන් හඳුනා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතාවයන් ඔප් නැංවීමට කටයුතු කළේ ය. මෙම පුහුණු වැඩසටහන්, ඔවුන්ගේ ව්‍යාපාර අදහස් නිරවුල් කර ගනිමින්, සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීමට මනා පසුබිමක් සකස් කළ අතර, කාන්තාවන්ගේ දිරිය හැකියාවන් රටේ ආර්ථික ගමනට ඍජුවම දායක කරගන්නා අපේක්ෂාවන් සහිත ආරම්භයක් විය.
උපුටා ගැනීම : දිවයින
