
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම පරිහානියේ අද (03) දිනයේ දී වාර්තා විය.
එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,290.68කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,443.38ක් ලෙසින් සටහන් වුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසීමේ දී 5.44%ක පහළ යාමකි.
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය, ඒකක 1,000 ක් ඉක්මවා පහළ ගිය පළමු අවස්ථාව මෙය වේ.
අද (03) දින ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තුවේ දීම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය. ඒ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට (27) සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙනි. ඉන් අනතුරුව පෙරවරු 10.01ට දෛනික ගනුදෙනු යළි ආරම්භ වූ අතර මධ්‍යහ්නය වන විට මෙම කඩා වැටීම යම්තාක් දුරකට සමනය වීමක් දිස් වුවද ඉන් පසු නැවත වරක් මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි.
අද දින ගනුදෙනු අවසානයේ S&P SL20 දර්ශකය ඒකක 322.32කින් පහළ ගොස් ඒකක 6,313.65ක් ලෙසින් සටහන්විය. මෙය 4.86%ක පහළ යාමකි.
අද දිනයේ දක්නය ලැබුණු සුවිශේෂී තත්ත්වයක් වූයේ රු. බිලියන 9.56ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.
උපුටා ගැනීම : අද දෙරණ
