
2026 වසරේ මුල් මාස දෙක තුළ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන ලද සංචාරක කර්මාන්තයේ යම් පසුබැස්මක් මාර්තු මාසයේ මුල් දින කිහිපය තුළ වාර්තා වේ.
මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ ගුවන් අවකාශ වසා දැමීම හේතු කොට ගෙන ගුවන් යානා ගමනාගමනය අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිබිදෙමින් තිබූ සංචාරක කර්මාන්තයට මෙලෙස බාධා එල්ල වෙමින් පවතී.
2026 ජනවාරි මාසයේ දී සංචාරකයින් 277,327ක් සහ පෙබරවාරි මාසයේ දී 279,328ක් ලෙසින් ඉතිහාසයේ මාසයක් තුළ මෙරටට පැමිණ තිබූ පළමුවට සහ දෙවැනියට වැඩිම සංචාරකයින් සංඛ්‍යාව එම මාසවල දී වාර්තා වී තිබුණි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරන්නේ 2026 මාර්තු මාසයේ මුල් දින 04 තුළ දී මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය 23,116ක් බවයි. එහිදී මාර්තු 02වන දින පමණක් හයදහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර සෙසු දින තුනේ දීම එම අගයයන් පවතින්නේ ඊට පහළිනි.
2026 ජනවාරි සහ පෙබරවාරි මාසවල දී දෛනිකව අටදහසට අඩු සංචාරක පැමිණීම් වාර්තා වී තිබුණේ දින තුනක් තුළ දී පමණි.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පසුගිය සතියේ කියා සිටියේ, මාර්තු මාසයේ දී තුන්ලක්ෂයක සංචාරක පැමිණීම් ඉලක්කයක් තබාගත්තත් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවයි.




උපුටා ගැනීම : අද දෙරණ
