ප්‍රාග්ධන වෙළඳපොළ වෙත සෘජුව පිවිසීමේ අවස්ථාව උදා කරමින් කොළඹ කොටස් හුවමාරුවේ නව ශාඛාවක් ගාල්ලට

කොළඹ කොටස් හුවමාරුවේ රටපුරා විසිරුණු ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, එහි නවතම ශාඛාව ගාල්ලේදී නිල වශයෙන් විවෘත කෙරිණි.  ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම ශාඛාව විවෘත කෙරිණි.

කොළඹ කොටස් හුවමාරුව සතු මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුර, රත්නපුර, පානදුර, බණ්ඩාරවෙල, කෑගල්ල සහ ගාල්ල යන ශාඛා ජාලයට අමතරව, 2026 මැයි මාසයේදී ගම්පහ ප්‍රදේශයේද නව ශාඛාවක් විවෘත කිරීමට නියමිතය.

ගාල්ලේ පිහිටි මෙම නව ශාඛාව මගින් මධ්‍යම තැන්පතු ක්‍රමය යටතේ ගිණුම් විවෘත කිරීම, කොටස් තැරැව්කාර සමාගම් අටක (8) සේවාවන් ලබාගැනීම සහ අනාගත ආයෝජකයින් සඳහා අධ්‍යාපනික වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම ඇතුළු පුළුල් පරාසයක සේවාවන් රැසක් සපයනු ලබයි. මීට අමතරව, කොළඹ කොටස් හුවමාරුවේ පවතින විවිධ ලැයිස්තුගත කිරීමේ ක්‍රමවේද ඔස්සේ ප්‍රාග්ධනය රැස්කර ගැනීම සඳහා ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ප්‍රවේශය ලබාදීමේ සේවාවද මෙම ශාඛාව හරහා ලබා දේ.

ගාල්ලේ කුරුඳු සහ තේ කර්මාන්තය හා ප්‍රාග්ධන වෙළඳපොළ අතර පවතින සබඳතාව පිළිබඳව සමාරම්භක දේශනයේදී අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළඳපොළේ සභාපති දිමුතු අබේසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නෙළුව, ඇල්පිටිය සහ අම්බලන්ගොඩ වැනි ප්‍රදේශ, කුරුඳු සහ තේ ආර්ථිකයට සක්‍රීයව දායක වන ව්‍යාපාර පවතින ප්‍රදේශ. එම ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට තමන් සතු අතිරික්ත මුදල් දීර්ඝකාලීන ඉහළ ප්‍රතිලාභ ලබා දෙන මාර්ගවල ආයෝජනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. කොළඹ කොටස් හුවමාරුවේ නවතම ශාඛාව ගාල්ලේ විවෘත කිරීම හරහා ඔවුන්ට ප්‍රාග්ධන වෙළඳපොළේ ආයෝජන අවස්ථාව උදා වන බව අපට විශ්වාසයි.”

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා එම උත්සවයේදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “කොළඹ කොටස් හුවමාරුවේ 12 වන ශාඛාව ගාල්ලේ විවෘත කිරීම ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනවා. මේ වන විට අපගේ ව්‍යාප්තිය සෑම පළාතකම දක්නට ලැබෙනවා. අපගේ මීළඟ ප්‍රමුඛතාවය වන්නේ මෙතෙක් මෙවැනි සේවාවන් අවම වශයෙන් ලැබුණු දිස්ත්‍රික්ක වෙත ළඟා වීමයි. එමගින් රටපුරා සිටින පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට කොටස් වෙළඳපොළ අවස්ථාව වෙත ප්‍රවේශ වීමට හැකි බව සහතික කිරීම අපගේ අරමුණයි.”

ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය: “අපගේ දැක්ම වන්නේ දුරස්ථ ප්‍රදේශ ද ඇතුළුව, රට පුරා විසිරී සිටින සුළු පරිමාණ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් ආකර්ෂණය කර ගනිමින් සැබෑ ලෙසම සියලු දෙනා ඇතුළත් කරගත් ප්‍රාග්ධන වෙළඳපොළක් ගොඩනැගීමයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලුම ප්‍රජාවන් නියෝජනය කරන පුද්ගලයින්ට, ප්‍රාග්ධන වෙළඳපොළ හරහා ධනය උත්පාදනය කිරීමට සහ රටේ ආර්ථික ප්‍රගතියේ කොටස්කරුවන් වීමට අවශ්‍ය ශක්තිය ලබා දීම අපගේ අරමුණයි.”

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ මෙවැන්නකි: “ව්‍යවසායකයන් කුමන පරිමාණයක වුවද, තම වර්තමාන මට්ටමෙන් ඔබ්බට වර්ධනය වීමට අපේක්ෂා කළ යුතු බවට පැහැදිලි පණිවිඩයක් අපට ලබා දීමට අවශ්‍යයි. ප්‍රාග්ධන පිරිවැය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරමින් අරමුදල් රැස් කිරීම සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථාව හිමි කර දෙනවා. ආර්ථික වර්ධනය රජයකට පමණක් තනිවම සිදු කළ නොහැකියි. ප්‍රාග්ධනය රැස් කරමින්, ව්‍යාපාර ව්‍යාප්ත කරමින් ජාතික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක විය හැකි ශක්තිමත් ව්‍යවසායයන් මගින් එය මෙහෙයවිය යුතුයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිය වගකීම ඉටු කිරීමට සැමවිටම කැපවී සිටිනවා. ආයෝජකයින්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා අපි ඉහළම නියාමන ප්‍රමිතීන් තවදුරටත් පවත්වාගෙන යන අතරම, ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීමට ද සක්‍රීයව පහසුකම් සලසනවා. වෙළඳපොළ පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම මුළු රටටම ප්‍රතිලාභ ලබා දෙන ජාතික ප්‍රමුඛතාවක් ලෙස අපි සලකනවා.”

ඡායාරූප විස්තරය – (වමේ සිට දකුණට) කොළඹ කොටස් වෙළඳපොළේ සභාපති දිමුතු අබේසේකර මහතා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා සහ කොළඹ කොටස් වෙළඳපොළේ ගාල්ල ශාඛාවේ වැඩබලන ශාඛා කළමනාකරු බිමල් රත්නායක මහතා විසින් ගාල්ල ශාඛාව විවෘත කරනු ලැබූ අවස්ථාව.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top