සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 6ක සිදුකර තිබූ ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණා දමා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
2024 දෙසැම්බර් 31 දින වන විට අරමුදල, ලැයිස්තුගත සමාගම් කොටස් 65ක ආයෝජන කර තිබූ අතර 2025 දෙසැම්බර් 31 වන විට එම සමාගම් කොටස් ප්‍රමාණය 59ක් දක්වා මේ අනුව පහළ බැස ඇත.
අදාළ දත්ත වාර්තා සන්සන්දනයේ දී පෙනී යන්නේ අරමුදල විසින් පහත සඳහන් සමාගම්වල කොටස් ආයෝජනයන්ගෙන් ඉවත් වී ඇති බවයි. එනම්,
- කාගිල්ස් බැංකුව
- සිලෝන් හෝටේල් කෝපරේෂන්
- කළම්බු ඩොක්යාර්ඩ්
- ජෙට්වින් සිම්ෆනි
- ලාෆ් ගෑස් (ඡන්ද බලය හිමි සහ ඡන්ද බලය අහිමි)
- සියෙරා කේබල්ස්
මේ අතර 2025 වසර තුළ දී නව ආයෝජනයක් ලෙසින් හේමාස් හෝල්ඩිංග්ස් හි මිලියන 40 ක කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීමට සේවක අර්ථසාධක අරමුදල කටයුතු කර ඇත.
ඒ අනුව 2025 වසර අවසානයේ දී සමාගම් 59ක රු. බිලියන 77.94ක ආයෝජනයන් සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකර ඇති අතර 2025 දෙසැම්බර් 31 දිනට ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 188.85ක් ලෙසින් වාර්තා වී තිබේ.


