මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොටස් වෙළෙඳපොළට පිවිසි වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ද්විතියීක කොටස් ගනුදෙනු ඇරඹි පළමු දිනයේ (2026 ජනවාරි 07) වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීමත් සමඟින්, මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) ලබා ගන්නා කොටස්, පළමු ගනුදෙනු දිනයේ දී විකිණීමේ දී නව ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අද දෙරණ Business කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ, ඒ අනුව මූලික මහජන කොටස් නිකුතුවකින් මිල දී ගන්නා කොටසක් පළමු ගනුදෙනු දිනයේ දී විකිණිය හැකි උපරිම මිල, 200%ක් දක්වා සීමා කෙරෙන බවයි.
2026 ජනවාරි 07 දින වෙල්ත්ට්‍රස්ට් සමාගමේ ද්විතීයික කොටස් ගනුදෙනු ඇරඹෙන තෙක්, මෙලෙස IPO කොටස් පළමු දිනයේ දී අලෙවි කිරීමේ දී ඉහළ මිල සීමාවක් නොපැවති අතර එම හිඩසෙන් රිංගා යමින්, වෙල්ත්ට්‍රස්ට් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවෙන් දී රු. 7 බැගින් මිල දී ගත් කොටස් ප්‍රමාණයක්, එකක් රු. 25,000 බැගින් අලෙවි වීමක් වාර්තා වුණි. මේ හේතුවෙන් මිල දර්ශක හා දෛනික පිරිවැටුමෙහි විකෘතියක් එදින වාර්තා වූ අතර කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වහාම අත්හිටුවා, එම දිනයේ සිදු වූ සියලූම කොටස් ගනුදෙනු අවලංගු කිරීමට බලධාරීන් එහිදී පියවර ගත්තේය.
මේ අතර වෙල්ත්ට්‍රස්ට් මූලික මහජන කොටස් නිකුතුවෙන් පසු සිදුකෙරනු පළමු මහජන කොටස් නිකුතුව වූ ජනශක්ති ලිමිටඩ් හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (29) පෙරවරුවේ දී ආරම්භ විය. ජනශක්ති ලිමිටඩ් හි කොටසක් මූලික මහජන කොටස් නිකුතුවේ දී නිකුත් කර තිබුණේ රු. 10ක මිලකටය. මේ අතර කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු අද දෙරණ Business වෙත පැවසූවේ එහි එක් කොටසක් රු. 100,000ක මිලකට විකිණීමට යම් අයෙකු විකුණුම් ඇණවුමක් කර තිබූ බවත්, ඒවා වහාම අවලංගු කළ බවත්ය.
“සාමාන්‍යයෙන් විකුණුම් ඇණවුමක් කරනවා නම්, එම ඇණවුම් දැමිය හැකි ඉහළම මිල වන්නේ පෙර දිනයේ අවසන් ගනුදෙනු මිලට වඩා 25%ක් වැඩියෙන් අගයයක්. නමුත් ඒ නීතිය මෙතෙක් කාලයක් මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) මිල දී ගන්නා කොටස් සඳහා අදාළ වුණේ නැහැ. කලින් අත්විඳින්නට වූ සිදුවීමත් සමඟින් IPO මිලට වඩා 200%ක් උපරිම අගයයකට විකුණුම් ඇණවුම් ස්ථානගත කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. මෙය පළමු ගනුදෙනු දිනයට පමණයි කළ හැකිවන්නේ“, යනුවෙන් ඔහු වැඩිදුටරත් පැවසීය.
උපුටා ගැනීම : අද දෙරණ
