SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගයේදී 500,000 ක මුදල් ප්‍රදානයන් දිනා ගැනීමේ අවස්ථාව මෙන්ම, නව්‍ය ව්‍යවසායකයින් හට ජාත්‍යන්තර මට්ටමේ ව්‍යවසායකත්ව අවස්ථාවන්ද උදා වේ.

කොවිඩ් 19 වසංගතය හා සටන් කිරීමට හැකි හා එම වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි සමාජ ගැටලු විසඳීමට උපාකාරී වන නව්‍ය නිෂ්පාදන හා සේවාවන් හඳුනා ගැනීම මෙම තරගයේ අරමුණයි. එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ දැනුවත් කිරීම සහ එම අරමුණු සමග තාක්ෂණික ව්‍යාපාර පෙළ ගැස්වීමද එහි තවත් අරමුණකි. 

වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් SLASSCOM අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා මෙසේ සඳහන් කළේය.

“OIW Accelerate 2020 මගින් නව ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින්, අද කාලයට ගැලපෙන නව්‍යෝත්පාදන මගින් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට දිරිමත් කිරීමට අපට අවශ්‍යයි.  ඒ වගේම ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දිරිමත් කිරීමට හා ජාත්‍යන්තර මට්ටමේ දැනුම හුවමාරු කර ගැනීමත් අවශ්‍යයි. ඒ, කොවිඩ් 19 වසංගතය පරදා මනුෂ්‍ය වර්ගයාට ජයගත හැකිවන්නේ සහයෝගයෙන් පමණක් නිසයි. ශ්‍රී ලංකාවේ IT/BPM අංශය දක්ෂතා හා හැකියාවන්ගෙන් පිරිපුන් පිරිසකගෙන් සමන්විත වුවත් බොහෝ දෙනා මේ වන විට අවස්ථාවන් හා දිරිගැන්වීම් නොමැති විම හේතුවෙන් පසුබට වී සිටිනවා. OIW Accelerate 2020 මගින් හොඳම අනාගත ශක්‍යතා සහිත ව්‍යාපෘති හඳුනා ගනිමින් මුල්‍ය සහය පිරිනැමීමට කටයුතු කෙරෙනවා. ඒ වගේම, සිය ව්‍යාපාර සිමාවන් පුළුල් කර ගැනීම සඳහා අනගි අවස්ථාවක් වන මේ සඳහා එක් වී ක්‍රියාකාරීව තරග කරන සියලුම නව්‍ය ව්‍යවසායකයින් අපි ඉතාමත් සාදරයෙන් පිළි ගන්නවා.”

ගත වූ වසර පහ ඇතුළත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති හෝ StartupSL වෙබ් අඩවියේ නව්‍ය ව්‍යවසාය ලෙස ලැයිස්තුගත කර ඇති තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් සඳහා OIW Accelerate 2020 තරගය විවෘත වේ. ඉදිරිපත් වන සෑම අයදුම්කරුවකු සතුවම අවම වශයෙන් මූලාකෘති මට්ටමට සංවර්ධනය කර ඇති නිෂ්පාදනයක් හෝ සේවාවක් තිබිය යුතුය. එම නිෂ්පාදනය හෝ සේවාව කොවිඩ් 19 වසංගතය හා සටන් වැදිය හැකි හෝ ඒ හේතුවෙන් පැන නගින සමාජ ගැටලු විසඳීම සඳහා සෘජුවම සම්බන්ධ විය යුතු අතර එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17න් එකක් හෝ සාගර,‍ සෞඛ්‍ය, බලශක්ති, ප්‍රජනන සෞඛ්‍ය හා ස්මාර්ට් නගර යන ක්ෂේත්‍ර පහෙන් එකක් හෝ සමග පෙළ ගැසෙන නිෂ්පාදන හෝ සේවාවන් වන්නේ නම් වඩාත් සුදුසු වේ.

OIW Accelerate 2020 සඳහා ලැබෙන සියලුම අයදුම්පත්, ව්‍යාපාරික හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විවිධ අංශවල නියුතු දේශීය හා විදේශීය විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් සලකා බලනු ලැබේ. සුදුසුකම් මත පදනම්ව ජයග්‍රාහකයින් හය දෙනෙකු තෝරා ගනු ලබන අතර, සෑම ජයග්‍රාහකයෙකුටම ඔවුන්ගේ නිෂ්පාදනය හෝ සේවාව OIW 2020 තරගයේදී සාර්ථකව ඉදිරිපත් කිරීම සඳහා සහාය, මග පෙන්වීම හා උපදේශනය සමග රු. 500,000 ක් වටිනා මුදල් ප්‍රදානයක් පිරි නැමේ. වර්තමාන ගෝලීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් Oslo Innovation Week Accelerate 2020 මේ වසරේ වැඩි දෙනකුට ඇතුළත් වීමට හා නැරඹීමට හැකි වන පරිදි, අන්තර්ජාලය මගින් පැවැත්වීමට නියමිතය. තරගය සඳහා ඇතුළත් වීම අගෝස්තු 12 වන දිනෙන් අවසන් වන අතර, ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 20 න් පසුව සිදු කෙරේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට මෙන්ම, ඒ සඳහා අයදුම් කිරීමට https://bit.ly/oiwaccelerate2020 වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. 

SLASSCOM යනු ශ්‍රී ලංකා IT/BPM ක්ෂේත්‍රයේ ජාතික වාණිජ මණ්ඩලය වන අතර, වෙළඳ හා ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීම, අධ්‍යාපනය හා රැකියා ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ හා නවෝත්පාදන දිරිගැන්වීම මෙන්ම සහාය ලබා දීම මගින් එම ආයතනය ශ්‍රී ලංකාවේ IT/BPM ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම, ක්ෂේත්‍රයට අදාළ ඉදිරි චින්තනයන් හා ප්‍රගතිශීලී ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමටද සහය වෙයි. ශ්‍රී ලංකාවේ IT/BPM ක්ෂේත්‍රයේ අපනයන ආදායමෙන් 90% ක් පමණ උපයා දීමට සමත්ව ඇත්තේ, SLASSCOM හි සාමාජික ආයතන විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *