Uber, ශ්‍රී ලංකාව පුරා සිය ප්‍රවාහන සහ බෙදාහැරීමේ (delivery) සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, රත්නපුර නගරය වෙත Uber Eats සහ Uber Rides සේවාවන් හඳුන්වා දී ඇත. මේ හරහා ප්‍රදේශයේ ජනතාවට සහ සංචාරකයින්ට ආහාරපාන, සිල්ලර භාණ්ඩ, එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විශ්වාසනීය ප්‍රවාහන පහසුකම් එකම Uber යෙදවුම (app) හරහා පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, මෙමඟින් ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්ට, බෙදාහැරීමේ හවුල්කරුවන්ට (delivery partners) සහ රියදුරු හවුල්කරුවන්ට සිය ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමට ද නව අවස්ථා උදා වේ.
Uber Eats සේවාව මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය පුරා පුළුල් ආවරණයක් සමඟ ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයන්ට ප්‍රදේශයේ ජනප්‍රිය වෙළඳ නාමවලින්, සිල්ලර බඩු අලෙවිසැල්වලින් සහ අනෙකුත් අලෙවිසැල් හවුල්කරුවන්ගෙන් Uber යෙදවුම (app) හරහා පහසුවෙන් ඇණවුම් කළ හැකිය. Uber Rides සේවාව මඟින් ද රෝද දෙක, තුන සහ හතර යන වාහන කාණ්ඩ හරහා ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට රත්නපුරය පුරා පහසු සහ දැරිය හැකි මිලකට ප්‍රවාහන පහසුකම් සලසා දෙයි. මැණික් අගනුවර ලෙසින් ප්‍රසිද්ධ රත්නපුරය, ව්‍යාපාරිකයන්, වෙළඳුන් සහ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගෙන් සමන්විත සක්‍රීය කලාපයක් වන බැවින්, Uber සේවා ව්‍යාප්තිය සඳහා වැදගත් මීළඟ පියවරක් වේ.
Uber ශ්‍රී ලංකා ආයතනයේ බෙදාහැරීම් අංශයේ (Delivery) සාමාන්‍යාධිකාරී වරුණ විජේවර්ධන මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “රත්නපුරය කියන්නේ දේශීය ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගෙන් සමන්විත ඉතා සක්‍රීය දිස්ත්‍රික්කයක්. Uber Eats සේවාව මෙම කලාපයට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා. දේශීය වෙළඳුන් වැඩි පාරිභෝගික සංඛ්‍යාවක් වෙත සම්බන්ධ කිරීමත්, බෙදාහැරීමේ හවුල්කරුවන්ට නම්‍යශීලී ආදායම් අවස්ථා නිර්මාණය කිරීමත් හරහා, දේශීය ආර්ථික වර්ධනයට අත්වැලක් වෙමින් එදිනෙදා ජීවිතයේ පහසුව තවදුරටත් ජනතාවට සමීප කරවීමට අප බලාපොරොත්තු වෙනවා.”
Uber ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රවාහන අංශයේ (Mobility) සාමාන්‍යාධිකාරී කෞශල්‍යා ගුණරත්න මෙනෙවිය මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය. “රත්නපුරයට Uber Rides සේවාව හඳුන්වා දීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. මේ හරහා දිස්ත්‍රික්කයේ ජනතාවට සහ සංචාරකයින්ට විශ්වාසනීය, පහසු සහ දැරිය හැකි ප්‍රවාහන සේවාවක් ලබාගැනීමට හැකි වෙනවා. එමෙන්ම, දේශීය රියදුරු හවුල්කරුවන්ට නව ආදායම් අවස්ථා නිර්මාණය වන අතර, Uber හි තාක්ෂණික මෙවලම්වල සහාය ඇතිව සෑම ගමනක්ම වඩාත් ආරක්ෂිත සහ පහසු අත්දැකීමක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”
Uber Rides හරහා පාරිභෝගිකයින්ට තම ගමන් අවශ්‍යතා සහ අයවැයට ගැළපෙන වාහන කාණ්ඩ කිහිපයකින් තෝරා ගනිමින්, නිවස අසලටම වාහන ගෙන්වා ගැනීමේ පහසුකම ලැබේ. මීට අමතරව, GPS ලුහුබැඳීම (GPS tracking), ගමන් විස්තර හුවමාරු කිරීම (share trip details), රියදුරු අනන්‍යතාව තහවුරු කිරීම, යෙදවුම තුළින්ම ලබාගත හැකි හදිසි සහාය සහ 24/7 පාරිභෝගික සහාය ඇතුළු තාක්ෂණය මත පදනම් වූ ආරක්ෂක අංග රැසක් සෑම ගමන් වාරයකටම ඇතුළත් වේ.
මෙම රත්නපුර Uber සේවා ව්‍යාප්තිය, ශ්‍රී ලංකාව පුරා සිය සේවා ජාලය අඛණ්ඩව පුළුල් කිරීමේ තවත් වැදගත් පියවරකි. මෙය නුවරඑළියෙන් පසුව, මෙම වසරේ Uber Eats සේවාව හඳුන්වා දෙන දෙවන නගරය වන අතර, මෑතකදී කෑගල්ල දක්වා Uber Rides සේවාව ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව මෙම දියත් කිරීම සිදු කෙරිණි. දිවයින පුරා වැඩි පිරිසකට සිය තාක්ෂණික වේදිකාවේ ප්‍රතිලාභ සමීප කරවීමට Uber දක්වන කැපවීම මෙමඟින් තවදුරටත් පිළිබිඹු වේ.
උපුටා ගැනීම : අද දෙරණ
