2026 දී සිදුවිය හැකි රු. බිලියන 40ක ආදායම් අලාභය වැළැක්වීමට 15%ක වාහන ක්ෂයවීම් සහනය වහාම ඉවත් කරන ලෙස  සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගම‍යෙන් (CMTA) රජයට ඉල්ලීමක්.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

පවතින ක්ෂයවීම් ක්‍රමවේදය හේතුවෙන් 2025 වසරේ පමණක් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 40ක් පමණ වන බව සංගමය ඇස්තමේන්තු කරයි. වහාම නිවැරදි ක්‍රියාමාර්ගයක් නොගතහොත්, 2026 වසරේදී ද මෙවැනිම මට්ටමක ආදායම් අහිමි වීමක් සිදුවිය හැකි අතර එමඟින් රජයේ මූල්‍ය තත්ත්වයට තවදුරටත් බලපෑම් එල්ල වන බැවින් ජාතික සංවර්ධනයට සහ මහජන සේවාවන් සඳහා රටට බෙහෙවින් අවශ්‍ය වන අරමුදල් අහිමි වනු ඇත.

මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවත් CMTA අවධාරණය කරයි. මෙම සහනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති වුව ද, ලංකා වාණිජ මණ්ඩලය මඟින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා කිහිපයකදී ම CMTA මේ පිළිබඳව දිගින් දිගටම කරුණු පෙන්වා දී ඇත.

පවතින ක්‍රමය තුළ ඇති නීතිමය හිඩැස් අවභාවිතය සඳහා අවස්ථා නිර්මාණය කර ඇති බව CMTA සංගමය පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ආනයනකරුවන්ට අසාධාරණ වාසි සැලසෙනවා පමණක් නොව රජයේ ආදායමට ද සැලකිය යුතු අලාභයක් සිදුවේ. 15% ක ක්ෂයවීම් සහනය ඉවත් කිරීමට සමගාමීව මෙම අවභාවිතයන්ට විසඳුම් සෙවීම වඩාත් ඉහළ විනිවිදභාවයක් සහතික කිරීමට, නියාමන අධීක්ෂණය ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්ෂේත්‍රයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය වේ.

දැනට පවතින ක්‍රමවේදයට අනුව, බදු ගණනය කිරීමේ අරමුණු සඳහා භාවිතා කරන ලද වාහනවල රේගු වටිනාකම මත 15% ක ක්ෂයවීම් සහනයක් ලබා දෙයි. භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී මෙම ක්ෂයවීම් සහනය ලබා නොදිය යුතු බව සංගමයේ ස්ථාවරයයි. ආනයනය කරනු ලබන බොහෝ භාවිතා කරන ලද වාහන ඉතා කෙටි දුරක් ධාවනය කර ඇති (virtually zero mileage) ඒවා වීමත්, ඒවායේ වටිනාකම අලුත්ම වාහනයක මිලට බොහෝ දුරට සමාන වීමත් මෙයට හේතුවයි.

මෙම සහනය ලබා දීමේ අරමුණ පාරිභෝගිකයන්ට වඩාත් සහනදායී මිලකට වාහන මිලදී ගැනීමට සැලැස්වීම නම්, වෙළෙඳපොළ අසමතුලිතතාවන් සහ භාණ්ඩාගාරයට සැලකිය යුතු අලාභයක් සිදු කරන මෙවැනි සහන මඟින් මිල දැරිය හැකි මට්ටමක් ළඟා කර ගත නොහැකි බව CMTA සංගමය අවධාරණය කරයි.  වාහන මිල අඩු කිරීම රජයේ අරමුණ නම්, වෙළෙඳපොළේ එක් කොටසකට පමණක් වරණීය ලෙස වාසි සැලසීම වෙනුවට මෙවැනි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නවතම වාහන සඳහා ද එකසේ ක්‍රියාත්මක කළ හැකි බව CMTA සංගමය පෙන්වා දෙයි.

අලුත්ම වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය (manufacturer warranty) හිමිවන බැවින් නඩත්තු සහ අලුත්වැඩියා සඳහා වන වියදම් අවම වේ.  මෙහි ප්‍රතිඵලයක් ලෙස, වාහන හිමියන්ට අමතර කොටස් ආනයනය කිරීමට සිදුවන අමතර වියදම් මඟහරවා ගත හැකි වීම හේතුවෙන් දිගුකාලීන වටිනාකමක්, විශ්වාසනීයත්වයක් සහ මනසේ සැනසිල්ලක් ද සැලසේ.

ස්ථාවර අනුපාත (flat-rate) සහනයක් වෙනුවට වාහනයේ ආයු කාලය මත පදනම් වූ ව්‍යුහගත ක්ෂයවීම් රාමුවක් 2013 වැනි ඈත වකවානුවකදී පවා ක්‍රියාත්මක වූ බව CMTA ආයතනය වැඩිදුරටත් සිහිපත් කරයි. මෙම යෝජනාවට අනුව ක්ෂයවීම් ගණනය කරනු ලබන්නේ කලින් තීරණය කළ පරිමාණයකට අනුව උපරිම 10% ක සීමාවකට යටත්ව බැවින් එමඟින් වාහනයේ සැබෑ වටිනාකමට ගැළපෙන ඉහළ සාධාරණත්වයක් සහ විනිවිදභාවයක් තහවුරු වේ.

සැමට පොදුවේ 15%ක ක්ෂයවීම් සහනයක් ලබා දීමෙන් සාධාරණීකරණය කළ නොහැකි බදු වාසියක් නිර්මාණය වන අතරම රජයේ ආදායම් එකතු කිරීම සැලකිය යුතු ලෙස අඩු වන බව CMTA සංගමය පෙන්වා දෙයි. රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් උපයන සෑම රුපියලක්ම අතිශයින් තීරණාත්මක වන මෙවැනි පසුබිමක, මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කර  ස්ථිරසාර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.

එබැවින්, දැනට පවතින 15% ක ක්ෂයවීම් සහනය අහෝසි කිරීමට සහ මෙම ආදායම් අහිමි වන වන මාර්ගය ප්‍රමාදයකින් තොරව වසා දැමීමට කඩිනම් පියවර ගන්නා ලෙස CMTA සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. ක්‍රියාමාර්ගයක් නොගෙන පසුවන සෑම මාසයකම, රජයට තවදුරටත් අලාභ සිදු වීමේ අවදානම වැඩි වන අතර රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ උත්සාහයන් දුර්වල වන බව සංගමය අවධාරණය කරයි.

භාවිතා කරන ලද වාහන වෙළඳපොළ සඳහා යම් ආකාරයක සහනයක් අඛණ්ඩව ලබා දිය යුතු යැයි රජය තීරණය කරන්නේ නම්, එය වාහනයේ වයස මත පදනම් වූ සහ සාධාරණ මට්ටමකට සීමා කරන ලද, ව්‍යුහගත මෙන්ම විනිවිද පෙනෙන රාමුවක් මඟින් ක්‍රියාත්මක කළ යුතු බව CMTA සංගමය පෙන්වා දෙයි. එවැනි ප්‍රවේශයක් ඔස්සේ රජයේ ආදායම ආරක්ෂා කර ගනිමින් සහ මෝටර් රථ කර්මාන්තය පුරා සැමට සමාන තරඟකාරී මට්ටමක් පවත්වා ගනිමින් සාධාරණත්වය සහතික කරනු ඇත.

Photo Caption: (වමේ සිට දකුණට) සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ (CMTA)

සභාපති ඇන්ඩෲ පෙරේරා මහතා සහ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ (CMTA)

සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්මාල් ද සිල්වා මහතා.

END

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top