“වාහන ආනයනය අත්හිටුවීමෙන් වාහන ක්ෂේත්‍රය හා රැකියා දහස් ගණනක් අනතුරේ”

– සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය පවසයි

බලයලත් දේශීය අලෙවි නියෝජිතවරුන් මගින් ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයින් හා සෘජු සබඳතා පවත්වන ශ්‍රී ලංකාවේ එකම වාහන ව්‍යාපාරික සංගමය වන, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රජය විසින් පනවනු ලැබූ වාහන ආනයනය අත්හිටුවීමේ කාල සීමාව පිළිබඳව පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම රජයේ රෙගුලාසිවලට අනුකූලව, ලියාපදිංචි වාහන ව්‍යාපාරිකයින් මගින් පමණක් වාහන මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයද එම සංගමය රජයට අවධාරණය කර සිටියි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා මෙසේ සඳහන් කරයි.

පළමුවෙන්ම, රජයේ නායකත්වය සහ ශ්‍රී ලංකාව තුළ COVID-19 පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග අපි ඉතා ඉහළින් අගය කරනවා. රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අද වන විට අපේ රටේ තත්වය ලොව බොහෝ රටවලට වඩා හොඳ මට්ටමක පවතිනවා. කෙසේ වෙතත් මේ වන විට, වාහන ආනයන තහනම ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අහිතකර ලෙස බලපා ඇති නිසාම, වාහන ව්‍යාපාරිකයින්ට හා ජනතාවට තමන්ගේ කටයුතු කල්තියා සැලසුම් කළ හැකි පරිදි එම තහනම ඉවත් කරන්නේ කවදාදැයි  දැනුම් දීම රජයේ වගකීමක් හැටියට අපි විශ්වාස කරනවා. මෙම තහනම ඉවත් කිරීමට අමතරව, අනෙක් වැදගත්ම කාරණය වන්නේ වාහන කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා අවශ්‍ය රෙගුලාසි හඳුන්වා දීමයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරය අතර, වාහන නිෂ්පාදකයින් සම්බන්ධ කරන පාලම ලෙස ක්‍රියා කරමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. 2019 වසරේදී සංගමය, ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රවාහන සැලැස්මක් ඇතුළත් ප්‍රතිපත්ති නිර්දේශ ලේඛනයක් සකස් කිරීම ඇරඹුවා. එය සකස් කිරීම සඳහා අප සංගමය, ජාත්‍යන්තර ව්‍යවහාරික පර්යේෂණ ආයතන සමග කටයුතු කරමින් සිටින අතර එය අවසන් වූ සැණින් රජයට ඉදිරිපත් කිරීම සංගමයේ බලාපොරොත්තුවයි.”  

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ජාත්‍යන්තර සන්නාමවල මෝටර් රථ,  වෙළෙඳ වාහන, යතුරු පැදි හා ත්‍රිරෝද රථ මෙන්ම ටයර් සහ ලිහිසි තෙල් ආනයනය කරන සහ අලෙවි කරන සියලුම අලෙවි නියෝජිතවරුන්ගෙන් සමන්විත වන අතර‍ එය දිවයින පුරා පුද්ගලයින් 20,000 කට වැඩි පිරිසකට සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් සපයමින්, දිවයින පුරා ඇති යටිතල පහසුකම් වැඩි දියුණු කරමින් සැලකිය යුතු ආයෝජනයක් සිදු කරයි. වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් මේ වන විට සමස්ත වාහන කර්මාන්තයම මහත් දුෂ්කරතාවකට පත්ව ඇතැයිද එම සංගමය අවධාරණය කරයි. එමෙන්ම,  ආනයන නැවත ආරම්භ කළ හැකි ස්ථිර කාල වකවානුවක් දැනුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින සංගමය, දැනට වාහන ආනයනය නොකිරීම නිසා නොබෝ කලකින්ම වාහන තොග අවසන් වී  කිසිදු අලෙවි ආදායමක් නොලැබී යාමට ඉඩ ඇතැයිද දැනුවත් කරයි. ආනයන තහනම ඉවත් කිරීම සඳහා මාස කිහිපයක් ගත් වන්නේ නම්, ව්‍යාපාරිකයින් හට සිය සේවක හා නඩත්තු වියදම් පියවා ගත හැකි පරිදි රජයේ සහය ලබා දෙන ලෙසද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රජයෙන් ඉල්ලීමක් කරයි.

“මේ පිළිබඳ දෙපාර්ශවයටම එකඟ විය හැකි කරුණු සම්බන්ධයෙන් අදාළ රජයේ බලධාරීන් සමග ඵලදායී අයුරින් සාකච්ඡා පැවැත්වීමට අපි කැමැත්තෙන් සිටිනවා” අමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

මේ වන විට රටේ ආර්ථිකයට මෙන්ම, විදේශීය සංචිත පවත්වා ගැනීමට ඇති අභියෝග සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය විසින් තේරුම් ගෙන ඇති අතර, එහි සාමාජිකයෝ එම බරපැන දරා ගනිමින්, වැටුප් අඩුකිරීම් හෝ රැකියා කප්පාදුව අවම කිරීමට මේ දක්වාම උපරිම උත්සාහ දරමින් සිටිති. එහෙත් සංගමයේ සාමාජිකයින් වන වාහන ව්‍යාපාරිකයින් හට පැවැත්ම සඳහා ගත හැකි අන් කිසිදු පියවරක් නොමැති බැවින් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීම හැර විකල්පයක් නොමැත. වාහන ආනයන තහනම පැනවූ සැණින්, කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කිරීම පිණිස ආනයන සීමාවන් ඉවත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද යන්න පිළිබඳව පැහැදිලිව දැනුම් දෙන ලෙස එම සංගමය මගින් අදාළ බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක්ද කෙරිණි. එහෙත් කණගාටුවට කරුණක් ලෙසින්, වාහන ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගත අවිනිශ්චිතතා මතු කරමින්, එම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබුණු බව එම සංගමය පවසයි.

එමෙන්ම, වාහන ආනයනය නියාමනය කිරීමට රජය පියවර ගත යුතු බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය තරයේ විශ්වාස කරයි. වාහන ආනයනය කිරීමේ ගුණාත්මකභාවය හා ප්‍රමාණය පාලනය කිරීම සඳහා වාහන ව්‍යාපාරිකයින්  ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන්ගේ යෝජනාවයි. මෙම ක්‍රමවේදය ලොව සෑම රටක්ම පාහේ අනුගමනය කරන ක්‍රමවේදයක් වන අතර, එමගින් පාරිභෝගිකයින්ට විශ්වාසවන්ත ආයතනයක් මගින් වාහනයක් මිල දී ගැනීමට හැකි වේ. මේ වන විට, වාහන ආනයනයෙන් 30% ක් පමණ මෙරටට ගෙන්වන්නේ ජාත්‍යන්තර වාහන නිෂ්පාදන සමාගම්වල බලයලත් දේශීය අලෙවි නියෝජිතවරුන් මගිනි. වාහන ආනයන රෙගුලාසි, ක්ෂේත්‍රයට හඳුන්වා දීමෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් වාහන අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමටත් හැකි වන අතර, විදෙස් විනිමය ගලා යාමද සැලකිය යුතු ලෙස අවම කිරීමට රජයට හැකි වන බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය පෙන්වා දෙයි.

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිතව, 1919 දී පිහිටුවන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය මේ වන විට සිය වසක ඉතිහාසයක් දරා සිටියි. පිළිගත් ජාත්‍යන්තර වාහන නිෂ්පාදනයින් සමග ඔවුන්ගේ බලයලත් නියෝජිතවරුන් හරහා සෘජු සබඳතා පවත්වන එකම සංගමයද එය වෙයි. එමෙන්ම කලාපයේ පැරණිම වාහන ව්‍යාපාරික සංගමය වන්නේද එම සංගමයයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය, ජාත්‍යන්තර වශයෙන් හොඳම ඉංජිනේරුමය හා කළමණාකරණ ක්‍රමවේද රටට ගෙන එමින් රට තුළ ජාත්‍යන්තර වශයෙන් පුහුණු කුසලතා සංචිතයක් බිහි කරන අතරෙහි, එහි සාමාජිකයෝ ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකට රැකියා සපයමින් ඔවුන් සංවර්ධනය කරති. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සියලු සාමාජිකයින් ජාත්‍යන්තර වාහන නිෂ්පාදන සමාගම්වල විගණනයන්ට යටත් වන අතර, ඔවුන් විසින් ආනයනය කරනු ලබන වාහන මෙරටට ආනයනය කෙරෙන්නේ, සෘජුවම නිෂ්පාදකයාගේ පූර්ණ වගකීම් සහිතව ය. ඒ හේතුව නිසා, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ඔවුන් මිලදී ගන්නා වාහන සම්බන්ධයෙන් ගුණාත්මකභාවය හා විශ්වාසනීයත්වය වඩාත් හොඳින් සුරක්ෂිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *