ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර Palexpo පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණු “එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදය” (United Nations Global Dialogue on AI Governance) සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වූහ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ A/RES/79/325 සම්මුතිය මඟින් ස්ථාපිත කරන ලද මෙම ගෝලීය සංවාදය, ජාත්‍යන්තර කෘතිම බුද්ධි (AI) සහයෝගීතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් බිහි වූ ලොව ප්‍රථම ගෝලීය වේදිකාවයි. මෙම ඓතිහාසික සමුළුවේ සමාරම්භක සැසිය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ඇනලීනා බෙයර්බොක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ තවත් සුවිශේෂී දේශන කිහිපයකින් ආරම්භ විය.
ලෝකය කෘතිම බුද්ධිය (AI) මුල් කරගත් අනාගතයක් කරා වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින වත්මන් වකවානුවක, ජාත්‍යන්තර සහයෝගීතාවය, ඩිජිටල් සමානාත්මතාවය මෙන්ම සාධාරණ, ඇතුළත් කරගත් සහ ආරක්ෂිත ගෝලීය ඩිජිටල් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම මෙම සමුළුවේදී දූත පිරිස විසින් පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් ජනාධිපති විශේෂ නියෝජිත; ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සමඟ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති; සුමිත් දසනායක මහතා, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ; බන්දුල හේරත් මහතා මෙන්ම ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම නියෝජිත පිරිස ජූලි 06 සිට 10 දක්වා පැවැත්වූ මෙම ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදය, තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව (WSIS Forum) සහ “AI for Good Global Summit 2026” යන ජාත්‍යන්තර සමුළු මාලාවන් සඳහා සහභාගී විය.
උපුටා ගැනීම : අද දෙරණ
