ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්ෂික සම්මාන උලෙළ 2026 උත්කර්ෂවත්ව පැවැත්වේ

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සංවිධානය කළ වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනය සහ ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන උලෙළ 2026 ‘ජාතික ප්‍රගතිය සඳහා ණය තොරතුරු තාක්ෂණය’ යන තේමාව යටතේ පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙරට ණය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත ගමන්මඟ පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන විය. මෙම අභිමානනීය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගි විය. මෙම විශේෂ අවස්ථාවට බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම්, විදුලි සන්දේශ සහ ප්‍රධාන උපයෝගිතා සේවා සම්පාදකයන් ඇතුළු මූල්‍ය හා ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය එක්ව සිටියහ. මෙම විශේෂ අවස්ථාවට CRIB සභාපති කේ.ජී.පී. සිරිකුමාර මහතා සහ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරි පුෂ්පික ජයසුන්දර මහතා ද සහභාගි වූ අතර, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා විසින් විශේෂ දේශනයක් ද මෙහිදී පවත්වන ලදි.

උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“නූතන මූල්‍ය පද්ධතියක පදනම වන්නේ විශ්වාසය, විනිවිදභාවය සහ කාලීන දත්ත භාවිතයයි. ඩිජිටල් පරිවර්තනය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ විකල්ප දත්ත මූලාශ්‍රන ඔස්සේ CRIB වැනි ආයතන, දත්ත අසමමිතිය මඟහරවා ගනිමින් ණය අවදානම් අවම කිරීමට පමණක් නොව, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යයන පරිමාණ ව්‍යවසායකයන්, තරුණ ව්‍යවසායකයන් සහ ග්‍රාමීය ප්‍රජාව මූල්‍ය පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ද සක්‍රියව දායක වෙනවා. අපගේ මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් දත්ත මත පදනම් වන බැවින්, යහපාලනය, දත්ත රහස්‍යභාවය සහ වගකීම්සහගත AI ප්‍රමිතීන් පවත්වා ගැනීම දීර්ඝකාලීන මූල්‍ය ස්ථාවරත්වයට අත්‍යාවශ්‍යයි” යැයි පවසා සිටින ලදී.

උපුටා ගැනීම : දිනමිණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top