ශ්‍රී ලංකා – කුවේට් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වරාය හා ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ කුවේට් රාජ්‍යය තානාපති සාලෙහ් මුබාරක් අල් – සරාවි (Mr. Saleh Mubarak AL Sarawi) මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර පැවැත්වුණු අතර, ඊ‍ට වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හා අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල මහතා ද සහභාගී වූහ.

කුවේට් තානාපතිවරයා ප්‍රථමයෙන්ම නව රජයේ අරමුණු සහ ලබා ඇති ප්‍රගතිය ගැන ප්‍රශංසා කරමින් එය අගය කළේය. එනිසා දෙරට අතර සන්නිවේදනය තවදුරටත් වැඩිදියුණු කිරීමත්, අදහස් එකිනෙක සමීප කරගැනීමත්, ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමත් තමාගේ ප්‍රධාන වගකීම බව ප්‍රකාශ කර සිටියේය.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ පැවති මෙම හමුවේදී දෙරට අතර දේශපාලන උපදේශන පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. එමඟින් අභ්‍යන්තර කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය, වරාය සහ අනෙකුත් ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව සඳහා පුළුල් රාමුවක් සකස් කළ හැකි බව සඳහන් විය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගනිමින් වරාය ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, දෙරට අතර නියෝජිත කණ්ඩායම් හුවමාරු කිරීම සහ අදාළ ආයතන අතර සෘජු සම්බන්ධීකරණයක් ඇති කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා, විශේෂයෙන් බලශක්ති හා කාර්මික ක්ෂේත්‍රවල අවස්ථා පිළිබඳව කුවේට් ආයෝජකයන්ගේ අවධානය යොමු කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

වෙළෙඳ ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ වාණිජ මණ්ඩල අතර නියෝජිත කණ්ඩායම් හුවමාරු කර ගැනීම පිළිබඳව ද එකඟතාව පළ විය.

දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කරමින් ආර්ථික, වෙළෙඳ, වරාය, ආයෝජන සහ අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියේදී පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top