මත්තල ගුවන් තොටුපලට ඕමානය උනන්දු වෙයි

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සිවිල් ගුවන්සේවා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් පිළිබඳ අවධානය

ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් හා සංවර්ධනය, දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ ගුවන්සේවා පුළුල් කිරීම පිළිබඳවය.

61 වන ආසියා හා පැසිෆික් කලාපීය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුව (DGCA/61) පැවැත්වෙන අතරතුර පැවති මෙම ද්විපාර්ශ්වික හමුවේදී, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සහ ඕමාන් සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ඉංජිනේරු නයිෆ් බින් අලි අල් අබ්රි මහතා අතර අදහස් හුවමාරුව සිදු විය.

සාකච්ඡාවේ ප්‍රධාන අවධානයක් යොමු වූයේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සම්බන්ධයෙනි. එහිදී ඉංජිනේරු නයිෆ් බින් අලි අල් අබ්රි මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් සහ එහි අනාගත සංවර්ධන හැකියාව පිළිබඳව සිය උනන්දුව පළ කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන්සේවය හරහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම, ඕමාන් එයාර් ගුවන්සේවය මස්කට් සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කළ ගුවන්සේවා නැවත ආරම්භ කිරීමේ හැකියාව සහ දැනට ක්‍රියාත්මක SalamAir ගුවන් සේවයේ ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

දෙරට අතර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම තුළින් සංචාරක කර්මාන්තය, වෙළෙඳාම සහ ව්‍යාපාරික කටයුතු වර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

තවද, ඕමානයේ පැවැත්වීමට නියමිත විශේෂ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ (ICAO) රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදෙන ලෙස ඉංජිනේරු නයිෆ් බින් අලි අල් අබ්රි මහතා ඉල්ලීමක් කළ අතර, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාව සිය කැමැත්ත පළ කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික ගුවන්සේවා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාට ඕමානයේ සංචාරයක නිරත වන ලෙස ඉංජිනේරු නයිෆ් බින් අලි අල් අබ්රි මහතා විසින් ආරාධනා කරන ලදී. එමෙන්ම, ඕමාන් සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා විසින් ආරාධනා කරන ලදී.

මෙම හමුව තුළින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව, ගුවන්තොටුපළ සංවර්ධනය සහ ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට හැකි විය.

උපුටාගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top