DIMO වෙතින් කුරුණෑගලට නව Bosch Diesel Service මධ්‍යස්ථානයක්

DIMO සිය අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, පසුගියදා කුරුණෑගල දී නව DIMO Diesel Lab ශාඛාවක් විවෘත කරනු ලැබීය. ඒ හරහා වයඹ පළාතේ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ඉන්ධන එන්නත් පොම්ප අලුත්වැඩියා කිරීම ඇතුළු විශේෂිත සේවා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

Bosch හි නවීන රෝග විනිශ්චය උපකරණ, ජෙනුයින් අමතර කොටස් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. පුහුණු තාක්ෂණික කාර්ය මණ්ඩලයක් විසින් ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන වාහන සහ යන්ත්‍රෝපකරණ සඳහා නිවැරදි පරීක්ෂණ සහ විශ්වාසදායක අලුත්වැඩියා සේවා ලබාදෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ පැවසීය. “අප විසින් පාරිභෝගිකයන්ට ලබාදෙන වටිනාකමේ වැදගත් අංගයක් ලෙස අලෙවියෙන් පසු සේවාව සැලකිය හැකියි. කුරුණෑගල ශාඛාව හරහා Bosch හි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විශේෂිත ඩීසල් සේවා තවත් පුළුල් පරාසයක පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට අපට හැකියාව ලැබෙනවා. ගෝලීය මට්ටමේ ඩීසල් ඉන්ධන පොම්ප අලුත්වැඩියා සේවා පාරිභෝගිකයන්ට වඩාත් සමීප කිරීම තුළින්, විශ්වාසදායක ප්‍රවාහන සේවා, කෘෂිකාර්මික හා කාර්මික යන්ත්‍රෝපකරණ මත රඳා පවතින ව්‍යාපාර සහ ප්‍රජාවන්ගේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට උපකාර කිරීමට  අපට හැකි වන අතර, ඔවුන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට ද අපි කටයුතු කරනු ලබනවා.”

Bosch Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ නේපාලය, භූතානය සහ මාලදිවයින සඳහා Country Manager වන සන්දීප් කමාත් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. DIMO සමඟ ඇති හවුල්කාරීත්වය හරහා Bosch හි ගෝලීය ඩීසල් සේවා ප්‍රමිතීන් ශ්‍රී ලංකාව පුරා තවදුරටත් පුළුල් වෙමින් පවතිනවා. නව කුරුණෑගල මධ්‍යස්ථානය හරහා නවීන තාක්ෂණය, Bosch හි ප්‍රමිතියෙන් යුත් අමතර කොටස් සහ පළපුරුදු තාක්ෂණික දැනුම ඒකාබද්ධ කරමින් ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදෙනු ලබනවා.”

DIMO සමූහයේ  කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා ඇතුළු Bosch නියෝජිතයන් සහ DIMO කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් නව මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ හා ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් වන කුරුණෑගල පිහිටීම හේතුවෙන්, වෙළඳ වාහන, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම් උපකරණ සහ කාර්මික වාහන සමූහ සඳහා මෙම මධ්‍යස්ථානයෙන් විශේෂ පහසුකම් සැලසෙනු ඇත. පාරිභෝගිකයන්ට දුර බැහැර ප්‍රදේශවලට ගමන් කිරීමේ අවශ්‍යතාව අවම කරමින්, වාහන හා යන්ත්‍රෝපකරණ අක්‍රියව පවතින කාලය අඩු කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද මෙම සේවා මධ්‍යස්ථානය උපකාරී වේ.

කුරුණෑගල ශාඛාව විවෘත කිරීම, ශ්‍රී ලංකාව පුරා සිය අලෙවියෙන් පසු සේවා ජාලය පුළුල් කිරීමේ DIMO හි අඛණ්ඩ උත්සාහයේ තවත් වැදගත් පියවරකි. වසර 85කට අධික මෝටර් රථ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ අධිකාරිත්වයෙන් සවිබල ගැන්වුණු DIMO, Bosch Diesel Service ජාලය හරහා උසස් තත්ත්වයේ අලෙවියෙන් පසු ඩීසල් සේවා පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරමින්, ශ්‍රී ලංකාව පුරා ලෝක මට්ටමේ සේවා විසඳුම් ලබාදීමට සිය කැපවීම තවදුරටත් තහවුරු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top