
AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ.
කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට දින 3ක් AOD ආයතනය වෙත පැමිණෙන අතර, විශේෂඥ කණ්ඩායමක මගපෙන්වීම යටතේ තමන්ට ගැලපෙන වේගයෙන් ප්‍රායෝගිකව කරුණු හදාරනු ලබයි. මීට අමතරව, සුදුසුකම් ලබන දරුවන්ට ලන්ඩන් O-Level විභාගය වෙනුවෙන් ඉංග්‍රීසි සහ ගණිතය විෂයන් හැදෑරීමේ පහසුකම්ද සලසා ඇත.
මෙම වැඩසටහනේ ඇති විශේෂත්වය වන්නේ දරුවාගේ වෛද්‍ය විනිශ්චයන් හෝ රෝගී තත්ත්වයන් මත පදනම් නොවී, ඔවුන්ගේ සහජ දක්ෂතා, උනන්දුව සහ අවශ්‍යතාවලට මුල්තැන දෙමින් පෞද්ගලික ඉගෙනුම් සැලැස්මක් සකස් කිරීමයි. පාඨමාලාව නිමවන ඇතැම් සිසුන්ට AOD හි Foundation පාඨමාලාව හරහා BA (Hons) උපාධිය තෙක් ඉදිරියට යාමට මගපැදෙන අතර, තවත් පිරිසකට ප්‍රායෝගික නිර්මාණශීලී කුසලතා, තමන්ගේම නිර්මාණ එකතුවක් සහ ස්වාධීනව කටයුතු කිරීමේ ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීමට අවස්ථාව හිමිවේ. AOD ආයතනය මෙම ප්‍රතිඵල ද්විත්වයම සලකන්නේ එක හා සමාන වටිනාකමකිනි.
“සෑම තරුණ තරුණියකටම නිර්මාණය කිරීමට, ඉගෙන ගැනීමට සහ ජයග්‍රහණ අත්කර ගැනීමට අයිතියක් තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දරුවා සිටින මට්ටම හඳුනාගෙන, අපගේ නිර්මාණාත්මක සමාජය තුළ ඔවුන්ට හිමි නිසි තැන ලබාදීමයි. ඇතැමෙකුට මෙය උපාධියක් දක්වා යන මගක් විය හැකියි; තවත් අයෙකුට මෙය ආත්මවිශ්වාසය, ස්වාධීනත්වය සහ යමක් නිර්මාණය කිරීමේ සතුට ලබාදෙන මගක් විය හැකියි. අපට ඒ දෙකම එක හා සමානව වැදගත්,” යනුවෙන් AOD හි නිර්මාතෘ සහ සභාපතිනී ලින්ඩා ස්පෙල්ඩ්වින්ඩ් මහත්මිය පැවසුවාය.
මෙහිදී සිසුන්ට චිත්‍ර ඇඳීම, වර්ණ භාවිතය, මූර්ති ශිල්පය, රෙදිපිළි නිර්මාණය, ඩිජිටල් නිර්මාණකරණය මෙන්ම ග්‍රැෆික්, ඡායාරූපකරණය සහ ස්පේෂල් ඩිසයින් වැනි ක්ෂේත්‍ර රැසක ප්‍රායෝගික අත්දැකීම් ලැබීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම, AOD හි උපාධි අපේක්ෂක සිසුන් මෙම දරුවන්ගේ උපදේශකයින් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි.
විශේෂ ඉගෙනුම් රටා සහිත (Neurodivergent) සිසුන්ට බොහෝ විට සිදු වන්නේ තමන්ට නොගැළපෙන අධ්‍යාපන ක්‍රමවලට බලෙන්ම හුරු වෙන්න. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, පාසල් ගමන නතර වෙනවා, වගේම ආත්ම විශ්වාසයත් නැති වෙනවා. නමුත් අපගේ නව වැඩසටහන මඟින් සෑම සිසුවෙකුගේම වෙනස් අභියෝගවලට සහය දෙමින්, ඔවුන්ගේ කුසලතා වර්ධනය වන පරිසරයක් මුල සිටම නිර්මාණය කරනවා. සිසුන්ගේ සැබෑ හැකියාවන් එළියට ගැනීම අපගේ ප්‍රධානම අරමුණයි,” යැයි AOD හි උපදේශිකා සාරා එසුෆාලි මහත්මිය පැවසුවාය.
AOD ආයතනයේදී පැවැත්වෙන Young Creatives ප්‍රදර්ශන හරහා සිසුන්ට තම නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව හිමිවන අතර, වසර දෙක අවසානයේ විශේෂ උපාධි ප්‍රදානෝත්සවයක දී ඔවුන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කෙරේ. වැඩිවිස්තර සඳහා පාසල්, දෙමාපියන් සහ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට 077 308 7782 අංකය ඔස්සේ AOD ආයතනය ඇමතිය හැක.
