ස්වදේශී කොහොඹ බේබි “හොඳ පුරුදු” අධ්‍යාපනික වැඩසටහන සමගින් ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සමරයි.

දශක අටකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවාදරයට පත් කඳානේ ස්වදේශී කර්මාන්තායතනය, පාසල් සිසුන්ට හොඳ පුරුදු ගෙන එමින්, මෙවර ලෝක ළමා දිනය පසුගියදා සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් තුළ හොඳ පුරුදු  හුරු කරවීමේ අරමුණින් “ස්වදේශී කොහොඹ බේබි හොඳ පුරුදු” නමින් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ස්වදේශී සමාගම, එම ලෝක ළමා දිනය වෙනුවෙන්  සංවිධානය කර තිබිණි.

 ඒ අනුව, තුන්වෙනි වසර සිසු සිසුවියන් ඒකරාශී කරමින්, හොඳ පුරුදු  පිළිබඳ සිසුන්ගේ අවධානය යොමු කරන වැඩසටහනක් සපුගස්කන්ද සෝභිත ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි. නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට සිසුන් තුළ උනන්දුවක් ඇති කරන අංග ගණනාවක් එම වැඩසටහනට ඇතුළත් විය.

එම වැඩසටහන ආරම්භ කරමින්, හොඳ පුරුදු 12ක් පිළිබඳ දැනුවත් කෙරෙන සැසියක් ස්වදේශී සමාගම මගින් පැවැත්වූ අතර, එය හොඳ පුරුදු පිළිබඳ ළමා පරපුර වඩාත් අවධානයක් යොමු කළ යුතු මේ කාලයේ බෙහෙවින් වැදගත් සැසියක් වශයෙන් සඳහන් කළ හැකිය. එම සැසියෙන් අනතුරුව, යුනිසෙෆ් සංවිධානයේ ජලය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂඥවරියක වන නිලූෂා පටබැඳි මෙනවිය විසින් දෑත් සේදීම පියවර 12 කින් පැහැදිලි කරමින් කළ කළ කතාව මගින් නිවැරදිව දැත් සෝදන්නේ කෙසේද යන්න පිළිබඳව සිසුන්ට පැහැදිලි අවබෝධයක් ලැබිණි.

මෙම වැඩසටහන සිසුන්ට මහත් විනෝදජනක හා කුහුල වඩවන වැඩසටහනක් බවට පත් කරමින් හොඳ පුරුදු සම්බන්ධ නාට්‍යයක් වේදිකා ගත වුණු අතර, දෑත් සේදීමේ ගීතයද හඳුන්වා දෙනු ලැබිණි. සිසුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා තවදුරටත් එළිදක්වමින් පැවැත්වුණු රේඛා චිත්‍ර තරගයෙන් සිසුන් 50 දෙනෙකු ගේ කුසලතා ප්‍රදර්ශනය කෙරිණි.

“හොඳ පුරුදු” වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ස්වදේශී සමාගමේ ප්‍රකාශිකාවක සඳහන් කළේ මෙවැන්නකි.

“දරුවන් තුළ හොඳ පුරුදු හුරු කරවීම එක් දිනයකට පමණක් සීමා නොකළ යුතු බවත්, ඒවා නිරන්තරයෙන් දරුවන්ට හුරු කරවිය යුතු බවත් අපි හඳුනාගත්තා. ඒ අනුව පාසල් තුළ හොඳ පුරුදු පිළිබඳ සිසුන් දැනුවත් කරන දැන්වීම් පුවරු සවි කිරීමට අපි කටයුතු කළ අතර එම දැන්වීම් පුවරු දකින සෑම අවස්ථාවකදීම එම හොඳ පුරුදු සිසුන්ට සිහිපත් වේ යැයි අපි විශ්වාස කරනවා. නිවැරදිව දෑත් සේදීමේ යුනිසෙෆ් සංවිධානයේ උපදෙස් ඇතුළත් මෙම වැඩසටහන පැවැත්වීමට ලැබීම අපට ඉතාම සතුටක්. ඒ වගේම, මෙවැනිම වැදගත්කමින් යුත් ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් වල තවදුරටත් නිරත වීම අපගේ අපේක්ෂාවයි.” යනුවෙන් ඇය සඳහන් කළාය.

මෙම  වැඩසටහනට සමගාමීව ස්වදේශී කොහොඹ බේබි කණ්ඩායම විසින් පාසල් පරිශ්‍රය තුළ හොඳ පුරුදු  12 ක් අඩංගු ප්‍රදර්ශන පුවරු සවි කරන ලදී. ඊට අමතර, යුනිසෙෆ් සංවිධානයේ උපදෙස් අනුව නිවැරදිව දෑත් සේදීමේ පියවර ඇතුළත් ප්‍රදර්ශන පුවරුද, දෑත් සේදීමේ සින්ක්ද පරිත්‍යාග කෙරිණි.

2019 වසරේදී ස්වදේශී සමාගම යුනිසෙෆ් සංවිධානයේ අන්තර්ජාල අවකාශයක් වන Unicef betterparenting.lk  වෙබ් අඩවියට සහාය දක්වමින් එම සංවිධානය සමග අත්වැල් බැඳගෙන තිබුණි. ළමා රැකවරණය සංවර්ධනය ආහාර හා පෝෂණය පිළිබඳ විශේෂඥ දැනුම හා තොරතුරු සපයන එම අන්තර්ජාල අවකාශයට අනුග්‍රහය දක්වන්නේද ස්වදේශී සමාගමයි. යහපත් පුරවැසියන්ගෙන් යුතු ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ, පොදු ඒකායන දැක්මකින් ස්වදේශී කර්මාන්තායතනයේ කොහොඹ බේබි හොඳ පුරුදු සහ යුනිසෙෆ් සංවිධානයේ  betterparenting.lk  කටයුතු කරන අතර, “ස්වදේශි කොහොඹ බේබි හොඳ පුරුදු” එම දැක්ම මල්ඵල ගැන්වුණු එක් සුවිශේෂී සත්කාර්යයකි.

දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ කාර්යයේ අඛණ්ඩව නිරත ව සිටින ස්වදේශීය සමාගම දිවයින පුරා වෙහෙර විහාරස්ථාන තුළ ආලෝක පූජා සත්කාර දැක්වීම, කොහොම පැළ සිටුවීමේ ව්‍යාපෘති, වියළි කලාපයේ ජනතාව සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම, පාසල් ළමුන් සඳහා අධ්‍යාපනික ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මෙන්ම දිවයිනේ පාසල් පන්සල් හා දුම්රිය ස්ථානවල දෑත් සේදීම සඳහා සින්ක් සවි කිරීම ආදිය සිදුකරමින් ඉකුත් කාලය පුරා ම කැපී පෙනෙන කාර්යයන් රැසක් ඉටුකර තිබේ.

දශක අටකට අධික කාලයක් ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසයට පාත්‍ර වන ස්වදේශී කොහොඹ බේබි යනු, බේබි සබන්, ක්‍රීම්, කොලොන්, ඔයිල්, ෂැම්පූ සහ ගිෆ්ට් පැක් නිෂ්පාදන ඇතුළත් ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර ළදරු පෞද්ගලික සනීපාරක්ෂක සන්නාමයයි. කොහොඹ බේබි සබන් වල ඇතුළත් කොහොඹ ශාක සාරය ළදරු සම ඉතා සුමුදු ලෙස පිරිසිදු කරමින්, විෂබීජවලින් සම ස්වභාවිකව ආරක්ෂා කරයි, සමේ තෙතමනය ආරක්ෂා කරයි. එමෙන්ම ළදරු සම නිරතුරුවම සුවඳින් තබන හොඳම ස්වභාවික ශාකසාර සංකලනය අඩංගු නිෂ්පාදන වන්නේද, කොහොඹ බේබි නිෂ්පාදනයි. ස්වදේශී කොහොඹ බේබි ළදරු නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහතික ලත් නිෂ්පාදන පෙළකි.

ශ්‍රී ලංකාවේ ලංකාවේ ශාකශාර නිෂ්පාදන සම්බන්ධව, ක්ෂේත්‍රයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා ශ්‍රී ලෙසින් 1941 වසරේ පිහිටුවා ගැනුණු ස්වදේශී සමාගම, ISO 9001 2015 තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලැබ තිබෙන සමාගමකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන සෑම  නිෂ්පාදනයක්ම, 100% ක් සත්ව තෙල් අඩංගු නොවන, මිනිස් සමට හිතකර නිෂ්පාදන බවටද සනාථ වී තිබේ.

ඡායාරූපය ලෝක ළමා දිනයට සමාගාමීව පැවති ස්වදේශී කොහොඹ බේබි හොඳ පුරුදු වැඩසටහනේදී ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය පාසල් දරුවන් සමග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *