පැල්වත්ත කිරි සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනින් කිරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 463ක පහසුකම්

මෙරට ප්‍රමුඛතම පුද්ගලික කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ රුපියල් මිලියන 463ක ව්‍යපෘති පහසුකම් සලසා තිබේ. ඒ අනුව පළමු අදියර ලෙස ඉදිරි මාස 6 තුළ කිරි ගොවීන් 1000කට මේ යටතේ පහසුකම් සැලසීමට සමාගම සැලසුම් කර ඇත.

කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වන අතර ග්‍රාමීය කුඩා වතු හිමි ගොවීන්ට ‘රාජ්‍ය හා පෞද්ගලික නිෂ්පාදක හවුල්කාරිත්වය’ වෙත ප්‍රවේශ වීම සඳහා වාණිජ හවුල්කාරිත්වයන් ගොඩනැගීම, මූල්‍ය ප්‍රවේශය ලබා දීම, තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් ක්‍රියාවට නැංවීම යන මුලික කරුණු සම්බන්ධයෙන් පහසුකම් සැලසීම මෙමගින් අරමුණුකර ගෙන ඇත. මෙහිදී 4P අගය දාම ආකෘතිය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය අංශයේ, ග්‍රාමීය කුඩා වතු හිමි ගොවීන් සහ පෞද්ගලික අංශයේ සමාගම් පොදු වේදිකාවක් කරා ගෙන එමට කටයුතු කරනු ඇත. එමගින් ග්‍රාමීය ගොවි ප්‍රජාවන්ගේ ආර්ථික හා සමාජීය ප්‍රමිතීන් උසස් අන්දමින් ඉහළ නංවාලමින් කිරි නිෂ්පාදනයේ සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීමට කටයුතු කෙරේ.

පැලවත්ත  කිරි සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා මෙම ව්‍යාපෘති පහසුකම් සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය, “පැල්වත්ත සමාගම වෙත මෙම වටිනා SAPP ව්‍යාපෘති පහසුකම් හිමි වීම පිළිබඳව අප විශාල ලෙස සතුටට පත්වනවා. අප සතුව දැනට ලියාපදිංචි කිරි ගොවීන් 12,500 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, ඌව, මධ්‍යම, නැගෙනහිර, උතුරු මැද හා වයඹ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 40 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එමගින් දිනකට කිරි ලීටර් 100,000 කට වැඩි ප්‍රමාණයක් සාමූහිකව ගබඩා කර තැබෙනවා. අපගේ පළමු අදියර යටතේ SAPP වෙතින් ඉදිරි මාස 6 තුළ කිරි ගොවීන් 1000 කට සහය දැක්වීමට  අපි බලාපොරොත්තු වන අතර SAPP සහ අප අතර සම්බන්ධතාවය ආර්ථික හා සමාජීය අභිවෘද්ධියට ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

ඵලදායි හා උපායමාර්ගික පියවරයන් ක්‍රියාත්මක කිරීම තුළින් වසර තුනක් ගතවන විට පවතින දෛනික කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට මෙම ව්‍යාපෘතියෙහි ප්‍රතිලභියෙකු ලෙස  පැල්වත්ත සමාගමට හැකිවනු ඇත. එමගින් කිරිවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරන අතර ගව රංචු කළමනාකරණය වැඩි දියුණු කරනු ඇත. පහසු ගෙවීම් ක්‍රම යටතේ ප්‍රතිලාභී ගොවීන්ට සහනපොලී අනුපාත සමඟ ණය පහසුකම් ලබා ගත හැකිය. මෙම ව්‍යාපෘතිය මගින් නව රැකියා හා අවස්ථාවන් නිර්මාණය වන අතරම කාන්තා සවිබල ගැන්වීම සහ කිරි කර්මාන්තය සඳහා වූ තරුණ සහභාගීත්වය වැඩිදියුණු කෙරේ. එහිදී  උපදේශකයින් කිහිප දෙනෙකු යටතේ තරුණ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය ආරම්භ කෙරෙනු ඇත.  SAPP මගින් දේශගුණික විපර්යාස සහ ඊට ඔරොත්තු දීමේ හැකියාවන් පිළිබඳව ප්‍රතිලාභීන් දැනුවත් කරනු ලබන අතර  ආහාර සහ තෘණ සපයන්නන් මෙන්ම AI කාර්මික විශේෂඥයින් ද බිහි කිරීමට හැකි වේ.

තවද පැලවත්ත ඩේරි සමාගමේ ගණනය කිරීම් අනුව ප්‍රතිලාභී ගොවීන් 1000කගේ සහභාගිත්වය තුල වසර තුනකින් අනතුරුව දිනකට කිරි ලීටර 45,000 කට වඩා නිෂ්පාදනය කළ හැකි වේ. මෙමඟින් ගොවීන්ට අවම වශයෙන් මසකට රුපියල් 130,000 ක් පමණ හිමිවනු ඇත. අවම වශයෙන් තරුණයන් 10 දෙනෙකු AI තාක්‍ෂණ ශිල්පීන් වශයෙන් පුහුණු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද සමාගම බලාපොරොත්තු වේ. එමෙන්ම පළමු වසරෙදි ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන්ට සහාය වීම සඳහා වාණිජමය වශයෙන් ආහාර වගාකරුවන් 10 දෙනෙකු සංවර්ධනය කිරීමද සිදු කෙරේ. මේ සියල්ලට අමතරව, දෙවන වසර වන විට කිරි පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට සමාගම අපේක්ෂා කරයි.

මේ වන විටත් පැල්වත්ත ඩේරි සමාගම කාර්යක්ෂමව මෙම ව්‍යපෘති පහසුකම් භාවිත කිරීමට පියවර ගෙන තිබේ. එමඟින් කිරි කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමත්, ජීවිත නඟා සිටුවීමත් සහ කිරි කර්මාන්තය හා ආර්ථිකය පුනර්ජීවනය ඉහළ නැංවීමත් සමාගමේ අපේක්ෂාවයි. පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය, රසය සහ සෞඛ්‍යයසම්පන්නභාවය යන සිය නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුුකූලව යමින් නිරන්තරයෙන්ම ගෝලීය වශයෙන් පිළිගත හැකි ප්‍රමිතීන්ට අනුව ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන ජනතාව වෙත ලබා දීමට කැපවී සිටීයි. පැල්වත්ත කිරි, ගොවින්ගෙන් එකතු කිරීමේ සිට සැකසීම සහ වෙළඳ පොළට පැමිණීම දක්වා ගතවන්නේ පැය 72ක් වැනි අවම කාලයකි. එමනිසා පැල්වත්ත කිරි නිෂ්පාදන වල නැවුම්බව, පෝෂණය, සහ පෝෂ්‍ය සංඝටක වල සුරක්ෂිත­භාවය පිළිබඳව නැවත නැවතත් සහතික විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *