අභියෝග වලට මුහුණ දිය හැකි, වෘත්තීය සුදුසුකම් සපිරූ තරුණ පරපුරක් නිර්මාණය කිරීම සඳහා ජෝන් කීල්ස් කැපවේ

SKIP යනු ජෝන් කීල්ස් පදනම මගින් සැලසුම් කරන ලද, කර්මාන්ත ක්ෂේත්‍රය පදනම් කරගත් විශේෂ වැඩසටහනකි. හඳුනාගත් කාණ්ඩ වලට අයත් සැපයුම්කරුවන්ගේ නිපුණතා නංවාලමින්, ඔවුන්ගේ සේවාවන්හි ප්‍රමිතිය සහ, COVID-19 වසංගත රෝග ව්‍යාප්තියට පසුව එළඹෙන කාලසීමාව තුළ ඔවුන්ගේ ආදායම් ඉපයීමේ හැකියාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම වැඩසටහන මුලින්ම ‘Walkers Tours’ සහ ‘Whittall Boustead Travel’ යන සමාගම් වල රියදුරු මහතුන් වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද අතර, තවත් විශේෂයෙන් සැකසූ වැඩසටහනක් කීල්ස් සුපිරි වෙළඳසැල් වල සැපයුම්කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලදි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සැපයුම් දාම කළමනාකරණයේ අංගයක් ලෙස මෙම වැඩසටහන ඉදිරියේදී තවත් සැපයුම්කරුවන් කාණ්ඩ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත.

SKIP වැඩසටහන යනු, වසර 16 කට පෙර ආරම්භ කරන ලද ජෝන් කීල්ස් පදනම මගින් සැලසුම් කර ක්‍රියාවට නංවනු ලබන නිපුණතා සංවර්ධන වැඩසටහන් පෙළක නවතම වැඩසටහනයි. ශ්‍රී ලංකාව තුළ ඵලදායී හා උද්‍යෝගීමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට නම් කාලීන වශයෙන් වැදගත් අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජෝන් කීල්ස් සමූහය දීර්ඝ කාලයක පටන් අවබෝධ කරගෙන සිටී. ඒ අනුව, සිය ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම හරහා, මෙරට ළමා හා තරුණ පරපුර තුළ වෙළඳපොළ ඉල්ලුමට සරිලන නිපුණතා වැඩිදියුණු කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහය ප්‍රමුඛත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන ලද ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවට අනුව, 2020 වසරේ මෙරට තරුණ පරපුර අතර විරැකියා මට්ටම 25.7% කි. දැනට පවතින වසංගත රෝග ව්‍යාප්තිය නිසා මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු ඇතැයි විශ්වාස කෙරේ. සෑම වසරකම ජුලි 15 වන දින සමරනු ලබන ලෝක තරුණ නිපුණතා දිනය, තරුණ තරුණියන්ට රැකියා, යහපත් ජීවනෝපාය අවස්ථාවන් සහ ව්‍යවසායකත්වය සඳහා අවශ්‍ය නිපුණතා ලබා දීමේ ක්‍රමෝපායික වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම කරුණ කෙරෙහි ජෝන් කීල්ස් පදනමේ ‘අධ්‍යාපනය’ විෂය ක්ෂේත්‍රය යටතේද දැඩි අවධානයක් යොමුකර ඇත. මේ යටතේ තෝරාගත් දරු දැරියන් හා තරුණ තරුණියන් වෙනුවෙන් දීර්ඝකාලීන හා තිරසාර වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇති අතර එමගින් වසරකට 25,000 ක පමණ පිරිසකට ප්‍රතිලාභ සැලසේ.

ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන යනු, තෝරාගත් පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉංග්‍රීසි භාෂා සන්නිවේදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ මෘදු කුසලතා ප්‍රවර්ධනය සඳහා ජෝන් කීල්ස් පදනම මගින් ක්‍රියාවට නංවා ඇති ප්‍රමුඛතම නිපුණතා සංවර්ධන වැඩසටහනයි. ‘Gateway Language Centre’ සමග එක්ව 2004 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන එම වැඩසටහන මගින් මේ දක්වා පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 17,700 කට පමණ ප්‍රතිලාභ සැලසී ඇත. දුෂ්කර පාසල් වල සාමාන්‍ය පෙළ මට්ටමට පහළ සිසු සිසුවියන් ඉලක්ක කරගත් ‘English for Teens’ වැඩසටහන අදියර දෙකකින් පවත්වනු ලබන අතර, එහිදී මූලික අදියරේ පාඨමාලාව තුළ ඉහළ දක්ෂතා දක්වන සිසු සිසුවියන්ට උසස් පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබේ. COVID-19 රෝග ව්‍යාප්තියත් සමග මෙම වැඩසටහන, ස්වේච්ඡාවෙන් ඊට දායක වූ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන්ගේ සමීප නිරීක්ෂණය යටතේ, මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට පැවැත්විණි.

සෑම වසරකදීම මෙම වැඩසටහන අවසානයේ, සිසු සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා, දීප ව්‍යාප්ත හා ප්‍රාදේශීය මට්ටම් වලින් ඉංග්‍රීසි දින වැඩසටහන් සංවිධානය කෙරේ. වසංගත රෝග ව්‍යාප්තිය නිසා උත්සව හා රැස්වීම් පැවැත්වීම තහනම් කරනු ලැබීම නිසා මෙම වැඩසටහනද පසුගිය කාලය තුළ මාර්ගගත ක්‍රමයට පවත්වන ලදි. 2020 වසරේදී දුරස්ථ ක්‍රමයට ඉංග්‍රීසි කවි කියවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, 2021 වසරේදී ස්ථාන 12 ක සිසුන් 150 ක පිරිසක් සඳහා කථික තරගයක් සංවිධානය කෙරිණි. සිසුන්ගේ සන්නිවේදන හැකියාවන් සහ ආත්ම විශ්වාසය කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබූ බව මෙහිදී ගුරුවරුන්ට සහ ව්‍යාපෘති කණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි විය. මෙම කථික තරගයේදී සිසු සිසුවියන් ‘ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක ලෙස මගේ ගමන් මග’, ‘මගේ අනාගතය සඳහා ඉංග්‍රීසි ඉගෙනීමේ වාසි’ සහ ‘මාර්ගගත ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙනීම සම්බන්ධ මගේ අත්දැකීම්’ යන මාතෘකා මුල්කරගෙන අදහස් දැක්වූහ.

“ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ලබාගත් කුසලතා මට අනාගතයේදී වැඩි වැඩියෙන් අධ්‍යාපන අවස්ථා උදාකර දෙනු ඇති අතර, හෘද රෝග විශේෂඥයෙකු බවට පත්වීමේ මගේ අනාගත අරමුණ ඉටුකරගැනීමටත් විශාල පිටිවහලක් වේවි. ඒ වගේම, සමාජයට පිවිසුණු පසුව හදිසි අවස්ථා වලදී ඉංග්‍රීසි දැනුම මට බෙහෙවින් වැදගත් වනු ඇති අතර, එමගින් මට විවිධ රටවල සංස්කෘතීන් ගැනත් ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා. ඉංග්‍රීසි භාෂාව මෙවලමක් ලෙස භාවිතා කිරීම මගින් මට ආත්ම විශ්වාසයෙන් යුතුව ලෝකය ගවේෂණය කිරීමට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.” බේරුවල ප්‍රදේශයේ නෙත්මා දිල්මිණී ශිෂ්‍යාව පැවසුවා ය.

“මේ වැඩසටහනට සහභාගී වෙන්නට කලින් මට ආත්ම විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි කතා කරන්නට හැකියාව තිබුණේ නැහැ. ඒත්, මේ වැඩසටහනට සහභාගී වුණාට පස්සේ, කාගේවත් උදව්වක් නැතිවම මට මේ වැඩසටහන ගැන ඉංග්‍රීසියෙන් අදහස් දක්වන්නට හැකිවී තිබෙනවා. මේ හැකියාව මගේ අනාගතයට ගොඩක් වැදගත් වේවි. ව්‍යාපාර සම්බන්ධතා වලින් නොනැවතී මේ ආකාරයට තමන්ගේ සැපයුම්කරුවන්ට උදව් කිරීමට කටයුතු කිරීම ගැන මා ජෝන් කීල්ස් සමාගමට ස්තූතිවන්ත වෙනවා.” SKIP (Skill into Progress) වැඩසටහනට සහභාගී වූවන්ගෙන් කෙනෙකු වන කුමාරි රාජකරුණා මහත්මිය පැවසුවා ය.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රවාහන අංශය 2006 වසරේ සිටම ජෝන් කීල්ස් පදනම හරහා ප්‍රවාහන හා කාර්ය සම්පාදන කළමනාකරණ උපාධි පාඨමාලාව [Transport and Logistics Management – B.Sc (T&LM) Hons.] හදාරන සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ ඉංග්‍රීසි පාඨමාලාවන් පවත්වයි. මෙය එම සිසුන්ට තම උපාධි අධ්‍යයන කටයුතු වඩාත් හොඳින් සිදුකිරීමට උපකාරී වී ඇති අතර, මේ දක්වා සිසු සිසුවියන් 726 දෙනෙකු එම පාඨමාලාව හදාරා තිබේ.

මීට පෙර රත්මලාන අන්ධ විද්‍යාලයේ සහ රත්මලාන බිහිරි විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ, ඉංග්‍රීසි භාෂා සන්නිවේදන නිපුණතාවන් වැඩිදියුණු කිරීමේ පාඨමාලා පෙළක් පැවැත්වීමටද ජෝන් කීල්ස් පදනම කටයුතු කළේ ය.

තවද, රැකියා හා ස්වයං රැකියා අවස්ථා සම්බන්ධයෙන් තරුණ පරපුර දැනුවත් කරමින් ඔවුන් ඒ සඳහා සූදානම් කිරීම උදෙසා, ජෝන් කීල්ස් පදනමේ ග්‍රාම සංවර්ධන හා ප්‍රජා ශක්ති ව්‍යපෘති මගින් ආවරණය වන ප්‍රදේශ වල අඩු පහසුකම්ලාභී පාසල් සිසුන් සහ පාසල් හැරගිය තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් වෘත්තීය මාර්ගෝපදේශන හා වෘත්තීය පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමටද ජෝන් කීල්ස් පදනම පියවර ගෙන ඇත.

මීට අමතරව තරුණ පරපුරේ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවමින් විරැකියාව තුරන් කිරීමේ අරමුණ සහිතව, ආර්ථික දුෂ්කරතාවන් සහිත තරුණ තරුණියන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමටත්, විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කරගනිමින් මෘදු කුසලතා වැඩමුළු, රැකියා පොළ වැඩසටහන්, අත්දැකීම් ලබාදීමේ වැඩසටහන් සහ සීමාවාසික පුහුණු වැඩසටහන් ආදිය පැවැත්වීමටද ජෝන් කීල්ස් පදනම කටයුතු කර තිබේ. මෙම සිසු සිසුවියන්ගේ වෘත්තීය නිපුණතා, ආකල්ප හා අවස්ථාවන් පුළුල් කිරීම ඉලක්ක කරගත් මෙම වැඩසටහන්, ජෝන් කීල්ස් සමූහයට අයත් විවිධ ව්‍යාපාරයන් සමග අත්වැල් බැඳගෙන ක්‍රියාවට නංවන ලදි.

මෙම සියලුම වැඩසටහන් වල මූලික අරමුණ වී ඇත්තේ රාජ්‍ය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන පද්ධතීන්ට තවදුරටත් අත්වැලක් වෙමින්, මෙරට තරුණ පරපුර තුළ වෙළඳපොළට ගැළපෙන කුසලතා, ආකල්ප සහ නිපුණතා වර්ධනය කිරීමයි. එමගින් ඔවුන්ගෙන් වැඩි පිරිසකට රැකියා අවස්ථා උදාවනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, තිරසාර සංවර්ධන ඉලක්ක වලට සමගාමී වන ආකාරයට වඩාත් සමෘද්ධිමත්, තිරසාර හා සමානාත්මතාව සහිත සමාජ ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ නොමඳ දායකත්වය ලැබෙනු ඇත.

අධ්‍යාපනය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ හය අතරින් එක් අංශයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් විශාලතම සමාගම වන, වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ. LMD සඟරාව මගින් අඛණ්ඩව වසර 15 ක් තිස්සේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සේවය කරන සංඛ්‍යාව 14,000 කට අධික ය. World Economic Forum හි පූර්ණ සාමාජිකයෙකු සහ UN Global Compact හි හවුල්කරුවෙකු වන එම සමාගම ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන දැක්ම පෙරදැරිව තම සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන ‘Plasticcycle’ ඔස්සේ ප්ලාස්ටික් නිසා රට තුළ ඇතිවන පරිසර දූෂණය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *