ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් හේමාස් සිය කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කරයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ ස්වභාවික පුනර්ජනන ව්‍යාපෘතියේ සන්ධිස්ථානයක් සාක්ෂාත් කරගනිමින් 2022 පෙබරවාරි 02 වන දින, ලෝක තෙත්බිම් දිනය සමරන ලදි. මෙම පස් වසරක ව්‍යාපෘතිය සඳහා බේබි ෂෙරමි සහ කුමාරිකා යන සන්නාම ද්විත්වය අනුග්‍රාහකත්වය දක්වන ලදි.

ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය බොහෝ කුරුළු ලෝලීන් හට කුරුල්ලන් නැරඹීම සඳහා යා හැකි  ස්ථානයකි. පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති මෙම අභය  භූමියේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1387කි. දංකොටුව හේමාස් නිෂ්පාදන කම්හල ද මෙම අභයභූමියට නුදුරින් පිහිටා  ඇත. හේමාස් සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස සිය පාරිභෝගිකයින් මෙන්ම පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ද කැපවී කටයුතු කරන අතර, ආනවිලුන්දාව අභයභූමිය තුළ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ උදාර කර්තව්‍යය වෙනුවෙන් WNPS සමඟ හවුල් වූ ප්‍රථම ආයතනය ද වේ.

හේමාස් ලෝක තෙත්බිම් දිනය සමරන අතරම, කඩොලාන යලි යථා තත්වයට පත් කරලීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සමාගමේ  අඛණ්ඩ කැපවීම  සාඩම්බරයෙන් සනිටුහන් කරයි. වටිනා ජෛව පද්ධති ලක්ෂණයක් ලෙස, ප්‍රතිසංස්කරණය කරන ලද කඩොලාන සංක්‍රමණික කුරුල්ලන්ගේ අඛණ්ඩ සංචාරය සහතික කරනු ඇත. එසේම ඉස්සන් වගාව සඳහා ද යෝග්‍යවූ කඩොලාන නිසා වර්ධනය වන නිරෝගී මත්ස්‍යයන් සහ ඉස්සන්, ගොවියන්ට මහඟු ලෙස උපකාරී වේ.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  බේබි ෂෙරමි අලෙවි කළමණාකරු ධනුෂ්කා සිල්වා, “තිරසරබව හේමාස් සමාගමේ අගයන් හි ගැඹුරින් මුල් බැස තිබෙනවා. වසරකට පෙර WNPS සමඟ සහයෝගීව හේමාස් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විට කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සහය ලබා දුන් පළමු ආයතනික සංවිධානය වුයේ හේමාස් ආයතනයයි. ජෛව පද්ධතියේ වැදගත් අංගයක් වන කඩොලාන, ශාක හා සත්ව විශේෂ සඳහා පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන අතර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට කඩොලාන සංරක්ෂණය කළ යුතුයි.  එමනිසා ආනවිලුන්දාව තෙත්බිම් අභයභූමිය ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වීම පිළිබඳව සමාගමක් ලෙස​ අපි ආඩම්බර වෙනවා.” යනුවෙන් අදහස් දක්වන ලදි.

මෙහිදී, ව්‍යාපෘති අරමුදල්වලින් විශේෂ  කොටසක් වෙන් කර ඇත්තේ වසරකට පෙර ආරම්භ කරන ලද විද්‍යාත්මක අධ්‍යයන, අඛණ්ඩ විශ්ලේෂණ සහ පරිසර පද්ධති මැනීම වැනි විශේෂිත වූ ජෛව පද්ධති  අධ්‍යනයන්  සඳහා වන අතර ව්‍යාපෘතියේම කොටසක් ලෙස පෝෂණය කෙරෙන ආනවිලුන්දාව තෙත්බිම් අභයභූමියෙන් සැබෑ කඩොලාන විශේෂ 13ක් සහ ශාක විශේෂ 264ක් මේ වනවිට හඳුනාගෙන ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) අධ්‍යක්ෂ (ආරක්ෂිත ප්‍රදේශ කළමනාකරණය) මංජුල අමරරත්න මහතා පවසා සිටියේ “ඛාදනයට ලක් වූ කඩොලාන ප්‍රජාව විද්‍යාත්මකව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉවසීම, විද්‍යාව, පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය, ප්‍රජාවගේ කැමැත්ත සහ දිගු කාලීන අධීක්ෂණය අවශ්‍යයි. මෙම මුල පිරීම අනෙකුත් අංශයන් හි ඵලදායි ලෙස භාවිතා කළ හැකි  බොහෝ පාඩම් අපට උගන්වනවා. සොබා දහමට සහ මිනිසාට ප්‍රයෝජනවත් වන මෙවැනි විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා නිවැරදි ආයතන සමඟ සම්බන්ධ වීමට DWC අපේක්ෂා කරනවා” යනුවෙනි.

මෙම වගාව සාර්ථකව කරගෙන යාම සඳහා, DWC සහ WNPS විසින් දැනටමත් කඩොලාන ශාක අධික ප්‍රමාණයක් සහිත පැළ තවානක් ආරම්භ කර ඇති අතර, Rhizophora mucronata, Loop-root කඩොලාන (මහා කඩොල්) යන ශාකය​ 90% ක පැවැත්මක් සහිත වැඩිම පැළ ප්‍රමාණයක් දරයි.

දේශීය ගොවියෙකු වන ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්විය , “කඩොලාන යනු කලපු සහ මෝය, ඛාදනයෙන් ආරක්ෂා කරන, වෙරළාසන්න ජල දූෂණය අවම කරන,  දේශීය පරිසර පද්ධතියෙන් පෝෂණය ලබා ගන්නා මා වැනි  ගොවීන්ට පොහොසත් ආදායම් මාර්ගයක් වෙනවා. අපගේ ජීවනෝපාය අවධානමට ලක් කරන ප්‍රධාන සාධක වන්නේ අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කිරීම, අනවසර ඉදිකිරීම් සහ නාගරීකරණයයි. මෙම තෙත් බිමේ සහ අපගේ සම්ප්‍රදායික ජීවන රටාවේ ආරක්ෂාව තහවුරු කරන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අපි හේමාස් සහ WNPS ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට ස්තූතිවන්ත වෙනවා.”

හේමාස් Consumer Brands ,WNPS, DWC නියෝජිතයින් මෙන්ම දේශීය ගොවීන්  ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මෙම කර්තව්‍යට එක්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඔස්සේ පර්යන්ත ප්‍රජාවන්ට ද  ප්‍රතිලාභ ලබා ගත හැකි බව ඔවුහු නැවත අවධාරණය කළහ.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා සහ ධීවර අධ්‍යයනාංශයේ සභාපතිනි , මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී “පසුගිය වසර 30 තුළ ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තර විනාශ වීමට  මූලික වශයෙන් පාංශු ඛාදනය, සෘජු භාවිතය සහ සම්පත් අධි පරිභෝජනය ආදිය, හේතු බවට පත් වී ඇත. තෙත්බිම ස්වභාවික පුනර්ජනනය සාක්ෂාත් කර ගැනීම සඳහා අරමුදල් සහ සම්පත් ලබා දීමෙන් හේමාස් ආයතනය දැක්වූ සහයෝගය සහ, මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.”

ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන්, හේමාස් කාර්ය මණ්ඩලය තෙත් බිම්  සහ ඒ අවට ගොවීන් ප්‍රයෝජනයට ගන්නා  ඇල දොළ  නැවත පණ ගැන්වීමේ මුලපිරීමකට සම්බන්ධ  වූ අතර එමඟින් ප්‍රතිස්ථාපන  ප්‍රදේශය තුළ පමණක් නොව ප්‍රජාවගේ භූමිය තුළ ද මෙම  ව්‍යාපෘතිය ක්‍රියාතමක කරන ලදී.

හේමාස් Consumer Brands හි ජ්‍යෙෂ්ඨ මානව සම්පත්, කළමනාකාර මහින්ද විජේසේකර මහතා මෙසේ පවසන ලදී. “මෙම  ව්‍යාපෘතියට දායක වී කැපවී සිටින හේමාස් කාර්ය මණ්ඩලය සහ අපගේ කර්මාන්ත ශාලාව අවට ජීවත් වන ප්‍රජාවන් දැනුවත් කිරීමට  විවිධ පුහුණුවීම් සහ ක්‍රියාකාරකම් සිදු කළා . මෙම ව්‍යාපෘති  සඳහා ඔවුන්ගේ සහයෝගයද අපට නොමදව ලැබුණා. සැබෑ ශ්‍රී ලාංකේය   සමාගමක් ලෙස අපගේ ජාතික උරුමයන් සහ ජෛව විවිධත්වය එහි පැරණි කීර්තිය නැවත  ප්‍රතිෂ්ඨාපනය කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා.”

Hemas Consumer Brands පිළිබඳව

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු  සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

Photo Caption ලෝක තෙත්බිම් දිනය සැමරීම නිමිත්තෙන් ආනවිලුන්දාව රැම්සා අභයභූමියේ කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රථම අවස්ථාවට සහභාගී වූ හේමාස් පාරිභෝගික සන්නාම, WNPS, DWC නියෝජිතයන්, දේශීය ගොවීන් සහ ප්‍රජාවේ හිතවතුන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *