ඩීමෝහි නවීනතම විදුලි පැනල් නිෂ්පාදනාගාරය වැලිවේරිය ඩීමෝ ලොජිස්ටික් සෙන්ටර් හිදී විවෘත කෙරේ

ඩීමෝහි නවතම විදුලි පැනල් නිෂ්පාදනාගාරය වැලිවේරියේ පිහිටි ඩීමෝ ලොජිස්ටික් සෙන්ටර් හිදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.

සමාගමේ විවිධ අංශ මගින් ක්‍රියාත්මක කෙරෙන විදුලි ව්‍යාපෘති සඳහා අවශ්‍ය සැපයුම ලබා දීම පිණිස වසර දෙකකට පෙර ඩීමෝ ආයතනය විසින් විදුලි පැනල්  නිෂ්පාදනය ඇරඹිණි. මෑතකදී එම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් ඉහළ ප්‍රමිතියකින් සහ අඩු වෝල්ටීයතාවයෙන් යුතු විදුලි පැනල්  නිපදවා වෙළඳපලට ඉදිරිපත් කිරීම තුළින් ඉහළ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ඩීමෝ සමාගම සමත් විය. 

මෙම නවතම විදුලි පැනල්  නිෂ්පාදනාගාරය මගින් වාණිජ, කර්මාන්ත, සැලසුම්ගත ව්‍යාපෘති හා තවත් බොහෝ ව්‍යාපෘතීන් සඳහා විදුලි පැනල්  පහසුකම් ලබා දීම සිදු කෙරේ. මේ හරහා ලබා දෙන නිෂ්පාදන විසඳුම් අතරට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් පවර් ඩිස්ට්‍රිබියුෂන් පැනල්, ATS/ AMF/ චෙන්ග් ඕවර් පැනල්, පවර් ෆැක්ටර් කරෙක්ෂන් කැපැසිටර් බෑන්ක්, මෝටර් කන්ට්‍රෝල් පැනල්ස් සහ PLC පදනම් වූ ඔටෝමේටඩ් සිස්ටම් පැනල්ස්  නිෂ්පාදනය, සැපයුම සහ ස්ථාපනය සිදු කරයි.  වර්තමානය වන විට සමාගමේ පාරිභෝගික ජාලය MEP  කොන්ත්‍රාත්කරුවන්ගෙන්ද, සිවිල් ඉදිකිරීම් සමාගම්වලින්ද, බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනී, ඇක්සස් PLC හා පොලිටෙක්  වැනි ඉහළ පෙළේ පෞද්ගලික සමාගම්වලින්ද, ශ්‍රී ලංකා නාවික හමුදාව වැනි රාජ්‍ය ආයතනවලින්ද සමන්විත වෙයි.

දේශීය නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස මෙම නවතම විදුලි පැනල්  නිෂ්පාදනාගාරය හරහා විශාල මෙහෙවරක් සිදු වන අතර, නුදුරු අනාගතයේදී විදේශීය පාරිභෝගිකයින් රැසක් හට මේ හරහා සේවය සැපයීමට ඩීමෝ සමාගම බලාපොරොත්තුවෙන් සිටී. මෙම ජාත්‍යන්තර පුළුල් කරණය සඳහා මුල පිරීමක් සිදු කරමින් ඩීමෝ සමාගම මේ වන විටත් මාලදිවයින් ව්‍යාපෘතියක් සමග සම්බන්ධව කටයුතු කරයි. තවද වර්තමානය වන විට දිවයිනේ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් 65කට අධික ස්ටෑන්ඩින්ග් පැනල් සහ වෝල් මවුන්ටින්ග් පැනල්  350 කට අධික ප්‍රමාණයක් මෙම ව්‍යාපාර ඒකකය හරහා   ලබා දී තිබේ. 

මෙහිදී සිය අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා පවසා සිටියේ “බලශක්ති කර්මාන්තය ඕනෑම ආර්ථිකයක ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බවත්, වසර ගණනාවක් බලශක්ති ක්ෂේත්‍රයේ පළපුරුදු සමාගමක් ලෙස විදුලි පැනල් නිෂ්පාදන ක්ෂේත්‍රයට පය තැබීමත් විද්‍යුත් ක්ෂේත්‍රයේ වෙනස් ඉසව් කරා යොමු වීමට හැකී වීමත් ආඩම්බරයට කරුණක්” බවයි.

ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ ‘ඩීමෝ ලුමින්’ වෙළඳ නාමය යටතේ මෙම විද්‍යුත් පැනල්  හඳුන්වා දීම ගැන ඔවුන් සතුටට පත් වනවා යනුවෙනි.  විද්‍යුත් පැනල්  නිෂ්පාදනය සම්බන්ධයෙන් තත්ත්වය හා ප්‍රමිතිය විශාල වශයෙන් වැදගත් වන නිසාම සිය නිෂ්පාදන වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිරතුරුවම ආයෝජනය සිදු කිරීමට ඩීමෝ වගබලා ගන්නා බවත්, මෙම නවතම නිෂ්පාදනාගාරය මගින් ඇම්පියර් 5000 දක්වා අඩු වෝල්ටීයතාවයෙන් යුතු විද්‍යුත් පැනල්  සැපයීමේ විශිෂ්ට හැකියාවක් පවතින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

බල ශක්ති  ක්ෂේත්‍රය තුල ඩීමෝහි කාර්ය පරාසය විද්‍යුත් පැනල්  සැලසුම් කිරීමේ, සැපයීමේ හා සවි කිරීමේ සම්පූර්ණ විසඳුම්වලින්ද, විදුලි බෙදා හැරීමේ ක්‍රමවේදයන්ගෙන්ද, රැහැන් කළමණාකරණ ක්‍රමවේදයකින්ද (cable management systems), රැහැන් ඇදීම සම්බන්ධව බල ගැන්වීම, පාලනය හා උපාංග සැපයීම ආදිය දක්වාද විහිදේ.  බ්‍රැන්ඩික්ස් සමාගමේ මඩකලපුව හා රඹුක්කන ශාඛාවල, නෙස්ලේ ලංකා සමාගමේ කුරුණෑගල ශාඛාවේ, ස්ක්‍රීන්ලයින් කටුනායක ශාඛාවේ, කෝස්වේ පේන්ට්ස් පානදුර ශාඛාවේ සහ, එස්ක්වෙල් ශ්‍රී ලංකා කොග්ගල ශාඛාවේ නිම කළ ප්‍රමුඛ පෙ‍ළේ ව්‍යාපෘති මගින්, වැලිවේරියේ ඩීමෝ ලොජිස්ටික් සෙන්ටර් හි විද්‍යුත් පැනල්  නිෂ්පාදනාගාරය ඩීමෝ හි බොහෝ සේවාවන් සඳහා අත්‍යවශ්‍ය සේවාවක් බව දැනටමත් ඔප්පු කර තිබේ. තවද මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග නිවාරණ ඒකකයේත්, අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ශාඛාවේ, තලවතුගොඩ ඇක්සස් රෙසිඩන්සිස්හි, හබරණ හා කැස්බෑව GSS හි හා  කොළඹ 02 RIL  ආයතනයේත් ඩීමෝ ව්‍යාපෘතින් ක්‍රියාත්මක වෙමින් පවතී.

වාණිජමය වටිනාකම් තවදුරටත් ඉහළ නංවන සදාචාර සම්පන්න ව්‍යාපාර ක්‍රමවේදයක් වෙනුවෙන් ඩීමෝ දීර්ඝ කාලයක් තිස්සේම කැප වී සිටියි. එමෙන්ම, ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමවල නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කරමින්, ඩීමෝ නවතම තාක්ෂණය හා හොඳම විසඳුම්ද පාරිභෝගිකයින් වෙනුවෙන් ගෙන ඒමට කැපවෙමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *