රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත්කරයි

දශක 09කට අධික කාලයක් පුරාවට දේශීය මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා විශාල දායකත්වයක් සැපයූ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) විසින්, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැණුමක් හිමි තුෂාර අසුරමාන්න මහතා නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත.

SMIB හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීමට පෙර අසුරමාන්න මහතා Nations Trust (NTB) බැංකුවෙහි ණය කළමනාකරණ අංශයේ උප සභාපති ලෙස කටයුතු කර ඇත. වර්ෂ 1999 දී NTB බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා, 2011 වර්ෂය වන තෙක් සිය මූල්‍ය හා බැංකුකරණ ක්ෂේත්‍ර අත්දැකීම් ඔස්සේ දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම සිල්ලර වෙළදාම් අංශයේ ව්‍යාපාර සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයා ඇත. 2011 වර්ෂයේ NTB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තනතුරකට පත්වූ ඒ මහතා, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ අංශය මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) ක්ෂේත්‍රය තුළ විශේෂඥ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙකි. මෙම දිගුකාලීන අත්දැකීම්වලට අමතරව බැංකුමූල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට පළපුරුද්දක් හිමි තුෂාර අසුරමාන්න මහතාගේ පරිණත මූල්‍ය  දැක්ම SMIB හි ඉදිරි මූලෝපායික කටයුතු වෙනුවෙන් දායකත් වනු ඇත.

මෙම නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින්, SMIB හි සභාපති ආචාර්ය උදයශ්‍රී කාරියවසම් මහතා මෙලෙස පවසා සිටියි. “SMIB යනු සුවහසක් ශ්‍රී ලංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක්. ඉතාමත් තරඟකාරී බැංකුකරණ ක්ෂේත්‍රය තුළ වඩාත් සාර්ථක ගමනක් යෑමට නම්, වෙනස්වන ව්‍යාපාර පරිසරයේ අවස්ථා ග්‍රහණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ සඳහා ශක්තිමත් කළමනාකාරීත්වයක මඟ පෙන්වීම ඉතා වැදගත් සාධකයක් වනවා. ඉදිරියේදී අපගේ නිවාස මූල්‍ය ආශ්‍රිත සේවාවන් අනෙකුත් ව්‍යාපාර අංශ වෙත පුලුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපගේ මෙම ගමන් මඟ තුළ,  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හිමි වන්නේ විශාල ස්ථානයක්. ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය උදෙසා පිරිවැය ඵලදායී මූල්‍ය විසඳුම් සහ උපදේශන සේවා සමඟ ඔවුන් ශක්තිමත් කිරීම සඳහා විවිධ මට්ටම් හි මූල්‍ය උපාය මාර්ගයන් අප අනුගමනය කරනවා. මෙම දැක්ම සාර්ථක කර ගැනීම සඳහා නව ප්‍රධාන විධායක නිලධාරී අසුරමාන්න මහතාගේ ක්ෂේත්‍ර දැණුම සහ අත්දැකීම් අපහට විශාල දායකත්වයක් දක්වනු ඇති බව මාගේ විශ්වාසයි.”

නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී තුෂාර අසුරමාන්න මහතා මෙලෙස පැවසීය. ” නිවාස ණය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් ලෙස නම් දරා ඇති SMIB, ඉදිරියේදී කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කර ගනිමින් වඩාත් සාර්ථක ගමනක් යෑමට සුදානම්ව සිටිනවා. බැංකුවේ මූලික නිපුණතාවයන් වර්ධනය කිරීම කෙරෙහි මම වැඩි අවධානයක් යොමු කරන අතර, බැංකුවේ සේවාවන්  පාරිභෝගික කේන්ද්‍රීයත්වය මත මෙහෙයවනු ලබන පරිදි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා, පුද්ගලික අංශයේ ගුණාංග සහ දැණුම හඳුන්වා දීමට  සැළසුම් කරනවා.”

මූල්‍ය විශේෂඥතාව මෙන්ම ණය කළමනාකරණය, ණය අවදානම් කළමනාකරණය සහ ශාඛා මෙහෙයුම් පිළිබඳ වසර 22කට අධික පළපුරුද්දක් ඇති අසුරමාන්න මහතා, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය හා එක්ව දේශීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා නිපුණතා සංවර්ධනය ගොඩනැගීමට කැපවී ක්‍රියා කරයි.  විද්‍යුත් ඉංජිනේරුකරණය පිළිබඳ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ගැනීමෙන් පසුව පශ්චාත් උපාධි පිළිබඳ කළමනාකරණ (PIM) ආයතනය හා සම්බන්ධ වෙමින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. ඔහු එංගලන්තයේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේද (ACMA), වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ (CGMA) සංගමයේ, එක්සත් රාජධානියේ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ (MIET)  සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ  (IESL) ද සාමාජිකයෙකි. ඔහු Frankfurt School of Finance & Management හි SME මූල්‍ය පිළිබඳ සහතික ලත් විශේෂඥයෙක් ද වේ.

ඡායාරූප විස්තරය:

SMIB සභාපති ආචාර්ය උදයශ්‍රී කාරියවසම් සහ නව ප්‍රධාන විධායක නිලධාරී තුෂාර අසුරමාන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *