DIMO Marine Solutions නවතම දික්ඕවිට යාත්‍රා සේවා මධ්‍යස්ථානය හරහා දේශීය ධීවර කර්මාන්තයට සේවා සැපයුම් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, සිය සමුද්‍ර ඉංජිනේරු අංශය හරහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තයේ දී අති නවීන යාත්‍රා සේවා මධ්‍යස්ථානයක්  ස්ථාපිත කරන ලදී. එය DIMO සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ මහතා විසින් මෑතකදී විවෘත කරනු ලැබීය.

DIMO හි විධායක අධ්‍යක්ෂ එමෙන්ම, ඒහි සමුද්‍ර ඉංජිනේරු ව්‍යාපාර කටයුතු අධීක්ෂණය කරනු ලබන, විජිත බණ්ඩාර මහතා මේ පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. “ශ්‍රී ලංකාවේ සමුද්‍ර ඉංජිනේරු කටයුතු නංවාලීම හරහා අපට ධීවර, සංචාරක හා නාවුක යන අංශවල නව මාවත් විවිර වෙනවා. ඒ ක්ෂේත්‍රයන් හි නියැලෙන ජනතාවගේ සිහින සහ අභිලාශ බලගැන්වීමට අපට අවස්ථාව ලැබෙනවා. DIMO Marine Solutions හරහා Four Seasons Explorer හා Chevel Blanc Randheli වැනි ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාර කටයුතු වල නියුතු ආයතන වෙත සුඛෝපභෝගී yacht අලුත්වැඩියා කිරීමේ කටයුතු හරහා සේවා සැපයීම සිදුකරනවා. ඊට අමතරව, නාවුක ක්ෂේත්‍රය හා සම්බන්ධ Sri Lanka Shipping හා ශ්‍රී ලංකා නාවික හමුදාව වැනි පාර්ශවයන්ට ද සේවා සපයනු ලබනවා.  දික්ඕවිට දී   ස්ථාපිත කල අපගේ   නව යාත්‍රා සේවා මධ්‍යස්ථාන හරහා ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ උන්නතිය උදෙසා ඉතා විශාල මෙහෙයක් කිරීමට අපට හැකි වනවා.”

නව දික්ඕවිට යාත්‍රා සේවා මධ්‍යස්ථානය   දේශීය එක් දින හා බහු දින ධීවර යාත්‍රා මෙන් ම විදේශීය ධීවර නෞකා වලට ද සේවා සැපයීම සිදු කරනු ලබයි.එන්ජින් අලුත්වැඩියා, එන්ජින් ඕවහෝලින්, යාන්ත්‍රීකරණ කටයුතු හා පොම්ප, ඉන්ජෙක්ටර් හා රේඩියටර් අලුත්වැඩියා කටයුතු වලට අමතරව  මෙම සේවා මධ්‍යස්ථානය  හරහා කූලර්, හීටර්, හීට් එක්ස්චේන්ජර්, කන්ඩෙන්සර් මෙන්ම  විදුලි හා හයිඩ්‍රොලික් ගියර් පද්ධති අලුත්වැඩියා කිරීම් ද මෙහිදී සිදු කරනු ලබයි.

MTU මෙන්ම Detroit Diesel, MG Duff, ROCHEM වැනි  ජාත්‍යන්තර සන්නාමයන් ශ්‍රී ලංකාව තුළ මෙන් ම මාලදිවයින තුළ ද නීයෝජනය කරනු ලබන්නේ DIMO ආයතනයයි. එවැනි ගෝලීය හවුල්කාරීත්වයන් DIMO හි සමුද්‍ර ඉංජිනේරු අංශයෙහි විශේෂඥතාව ඔපමට්ටම් කර ගැනීමට මනා පිටිවහළක් වී ඇත.  එන්ජින් ඕවහෝලින් ක්‍රියාවලිය සඳහා ISO 9001: 14000 සහ AERA USA සහතිකයන්ගෙන් පිදුම් ලද එකම ශ්‍රී ලාංකීය ආයතනය ලෙස DIMO නම් දරා සිටී.

දික්ඕවිට පර්යන්තය NVQ 4 සහතිකය ලත් විශේෂඥ කාර්මික කණ්ඩායමකින් සමන්විත වන අතර සෑම විටකම උසස් සේවාවක් ලබා දීමට ඔවුන් කැප වී සිටියි. මෙම සේවා මධ්‍යස්ථානය DIMO හි ඉංජිනේරුකරණයේ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කරන අතර, වෙරළාශ්‍රිත ප්‍රදේශයන් හි පිහිටි DIMO ශාඛා හරහා ගණුදෙනුකරුවන් ට අද්විතීය සේවාවක් සැපයෙනු ලැබේ.

මෙම සේවා මධ්‍යස්ථානය හරහා යාත්‍රා සන්නිවේදන පද්ධති අලුත්වැඩියාව, සෑම මාදිලියකම මෝටර් නැවත එතීම, සේවා කිරීම, වාර්නිෂ් කිරීම සහ බේකින් කිරීම සිදු කරයි. තව ද මෙහි අඩි 80 ක් දක්වා දිගින් යුතු  යාත්‍රා අලුත්වැඩියා කිරීමේ කටයුතු ද සිදු කළ හැක.

DIMO, නවතම ඉංජිනේරුකරණ විසඳුම් සමඟින් දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීම ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සමඟ එක්ව කටයුතු කරයි. එහි එක් ප්‍රතිඵලයක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය ස්ථාපිත කල අතර ඉදිරියටත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සමඟ එක්ව දේශීය ධීවර කර්මාන්තය වඩාත් සවි බලගැන්වීම උදෙසා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට DIMO සූදානමින් සිටී.

DIMO Marine Solutions, ඉංජිනේරුකරණය, නිර්මාණකරණය, ස්ථාපනය, ක්‍රමසම්පාදනය, නඩත්තුකරණය මෙන් ම විදේශීය ව්‍යාපෘති සඳහා සහභාගී විය හැකි කණ්ඩායමකින්  ද සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *