අඳුරු පැතිකඩ ඉරා දැමු අපේම දිරිය දියණිවරු

ශෙහාරා අලහකෝන්

ඇය ජීවත් වෙන්නේ මුලතිව් නගරයේ තනීරුට්‍රු කියන ගමේ.  ඇගේ පියා 2009 වර්ෂයේ දී  කුරිරු යුද්ධයට  බිලි වෙනවා. මවත් තම සොහොයුරන් දෙදෙනාත් සමග තනිවූ ඇය නොසිතු මොහොතක ෂෙල්  ප්‍රහාරයකට ලක් වෙනවා, ඒත් 2009 වර්ෂයේමයි. ඇය ඉන් අබාධිත තත්වයට ඇද වැටෙනවා. ඒ එක් දිරිය දියණියකගේ ජීවිත කතාවෙන් බිඳක්.

අපට හමුවන අනිත් දිරිය දියණිය ජීවත් වෙන්නෙත් මුලතිවු නගරයේමයි. මව, පියා සහ තම සොහොයුරා සමග ජීවත් වෙන ඇයත් අබාධිත වන්නේ 2009 වර්ෂයේ සිදුවුන ෂෙල් ප්‍රහාරයකින්.

පසුගිය දා සාමාන්‍ය පෙළ ප්‍රථිපල නිකුත් වීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලා තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වුණු අබාධිත තත්වයෙන් රෝද පුටුවක සිට අධ්‍යාපන කටයුතු වල නිරත වුනු බවතරනි කෙන්ගාතරන් සහ විදර්ශිකා මතියාලගන් ගේ ජයග්‍රහණය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුවක් වුවද එම ජයග්‍රහණය අත් කර ගැනීම උදෙසා ඔවුන් විඳි දුෂ්කරතා ප්‍රමාණය දෙස නැවත හැරී බලද්දී අපට එක වර ඇති වන්නේ ඉතා කණගාටුවකි. නමුත් ලෝකයේ සියලුම දුවා දරුවන්ට ආදර්ශයක් ගෙන එමින්, අනේක දුක් විඳිමින් ඔවුන් අද මෙලෙස ලබා ගත් ජයග්‍රහණය සියලුම දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට සිය ජීවන අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීමට මාර්ගෝපදේශනයක් සපයන බව අප හට හැඟෙන බැවින් මෙසේ ඔවුන්ගේ කතාව දිග හැර සිටිමි. 

සාමාන්‍ය පෙළ කියන්නේ ලේසි පහසු කඩඉමක් නෙවේ. මෙහි තිබෙන සංකීර්ණත්වය හේතුවෙන්ම දරුවන්ව මානසික  මෙන්ම ශාරීරික වශයෙන් එම  කඩයිම පසු කිරීම සඳහා සූදානම් කිරීමට ගුරුවරුන් සහ දෙමව්පියන්  වර්තමානයේ විශාල කැපකිරීමක් සිදු කරන බවද අප බොහෝ දෙනා දන්නා කාරණයක්.  . මෙලෙස දරුවන් විශාල පිරිසකගේ අනාගතය තීරණය කරන වැදගත් සන්ධිස්ථානයක් වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා දරුවන් ඉහළ ප්‍රථිපල ලබා ගැනීම සමාජයේ කතා බහට ලක් වන කරුණක් වුවද, ආර්ථික සහ මානසික බාධක මැද්දේ එවන් විභාගයකට මුහුණ දී අති සාර්ථක ප්‍රථිපල ගන්නවා කියන්නේ සුවිශේෂී දෙයක්.  ආඩම්බරයට කරුණක්.

මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයකින් තරනිගේ පිය මෙලොව හැර යද්දී තරනි අවුරුදු 9ක කුඩා දියණියක්. යුද්ධය පිළිබඳ කිසිඳු හැඟීමක් නොමැති ඇය පියාගේ හැර යාමෙන් කෙටි කලකට පසුව එවැනිම මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයකින් අබාධිත තත්ත්වයට පත් වෙන්නේ ඇයගේ මුළු ජිවිත කාලයම රෝද පුටුවකට බාර කරමින්.  දිවියෙන් නික්මුන තම පියාගේ විශ්‍රාම වැටුපෙන් ආර්ථිකය ගැට ගසා ගත් ඇයට අමතර පන්ති යාමේ වත්කමක් තිබුනේ නැහැ. නමුත් පාසලෙන් ලද දැනුමෙන් සහ තම ස්වාධ්‍යනයෙන් බොහෝ කැපකිරීම් කරමින් තම මව සහ සහෝදරයන්ගේ සහයෝගය සමගින් මෙම විභාගය ඉහළින්ම ජය ගන්නට ඇයට හැකි වුනා.

වයස අවුරුදු 9 දීම ත්‍රස්ත ප්‍රහාරයකින් අබාධිත තත්ත්වයට පත් වු විදර්ශිකාත්, දවසේ පඩියට රැකියාව කරන තම පියා හම්බුකරන සුළු මුදලේ පිහිටෙන් ප්‍රධාන විෂයයන් සඳහා පමණක් අමතර පන්ති යමින් බොහෝ වෙහෙස වී මෙම විභාගය සඳහා තම    තමන්ගේම උත්සාහයෙන්  අධ්‍යන කටයුතු වල නිරත වුනේ තම මව සහ දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තම සොහොයුරාගේ සහයත් සමගයි.

දුරකථන මාර්ගයෙන් ඔවුන්ව මදකට සම්බන්ධ කර ගන්න අපිට පුළුවන් උනා. ඉතා සුහඳශීලීව කතා බහට එක්වුන ඔවුන්ගෙන් අපි ඇහුවා මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ගැන මොනවද හිතෙන්නේ කියල.  A  සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් සමගින් ලද ජයග්‍රහණය පිළිබඳව ඉතාමත්ම සතුටු වෙන බවත්  තම ආදරණීය පවුලේ උදවිය ලොවක් ඉදිරීයේ ආඩම්බරයට පත් වීම ගැනත් ඇය උද්යාමයෙන් පසු වෙන බව බව තරනි පවසද්දී   A  සාමාර්ථ 6ක්, B සාමාර්ථයක් සහ C සාමාර්ථ 2ක් ගනිමින් දස්කම් පෑ විදර්ශිකා පැවසුවේ අන් කවරාදාකවත් නොදැනුන ලෙස ඉතාමත් ප්‍රීතිමත් ව සහ ආඩම්බරයෙන් මේ දින කිහිපය ගත කරන බවය.

. සමාජයට ඉහළම සේවයක් සිදු කිරීමේ අරමුණින් මොවුන් දෙදෙනාම උසස් පෙළ සඳහා ජෛව විද්‍යා විෂයන් තෝරා ගත් අතර අධ්‍යාපනය සඳහා තම කැපවීම සහ අධිෂ්ඨානය හේතුවෙන් සාමාන්‍ය පෙළ ප්‍රථිපල නිකුත් කිරීමට පෙරම ඔවුන් දෙදෙනාම උසස් පෙළ සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කර තිබිණි.

තම හැකියාවන් අවතක්සේරු කරමින්, ජිවිතයේ නොලැබුණු දේ පිළිබඳ සිතමින්, පීඩනයෙන් ජීවත් වෙන බොහෝ දෙනාට මොවුන්ගේ කතාව ආදර්ශයක් වන අතර, ජීවිතයේ සාර්ථකත්වය අත් කර ගැනීමට නම් ප්‍රථමයෙන් තමන් තමන් කෙරෙහි විශ්වාසය ඇති කර ගත යුතු බව ඔවුන් අපට අද පෙන්වා දී තිබෙනවා.

රට වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් වෛද්‍යවරුන් දෙපළක් වන්නට සිහින මවන මෙම දියණියන් දෙදෙනාට නිරන්තරයෙන් සහයෝගය දෙමින් ඔවුන් ධෛර්යමත් කරමින් දැවැන්ත සෙවනැල්ලක් මෙන් ඔවුන් පිටු පස සිටින තම පවුලේ සාමාජිකයින් සහ ගුරුවර ගුරුවරියන් ආදරයෙන් සිහි කිරීමට ඔවුන් අමතක කලේ නැහැ.අධ්‍යන කටයුතු සඳහා පමණක් නොව ඔවුන්ගේ දෛනික කටයුතු වලදී ද නිරන්තරයෙන් ඔවුන්ට සහය වන, වහෙස වන තම මව්පියන් සහ සහෝදරයින් මතක් කලේ ඉමහත් දයාබරත්වයක් සහ කෘතඥතාවයක් පිළිබිඹු කරමින්.අපේ සංවාදය අවසානයේ බවතරනි පැවසුවේ කිසිදා තම උත්සාහයන් ඇත හැර නොදමන ලෙසත් වෙහෙස මහන්සි වී කැපවී වැඩ කිරීම තුලින් තම අරමුණු කරා ලගා විය හැකි බවත්ය. විදර්ශිකා පැවසුවේ කුමන බාධක මද්‍යයේ වුවත් තම අධ්‍යන කටයුතු අතහැර නොදමන ලෙස ය. මොවුන්ගේ කතාවෙන් අප සැම හට උකහා ගත හැකි දෑ බොහොමයි. මෙතෙක් ඔවුන්ට උදව් උපකාර කල සියලුම පාර්ශවයන් කෙරෙහි තම ස්තූතිය පුද කල ඔවුන් පැවසුවේ ආර්ථික දුබලතා මද්‍යයේ සිටින ඔවුන් හට හැකි නම් ඉදිරියටත් උපකාර කිරීමට ඉදිරිපත් වන ලෙසයි.

මේ, ජීවිතේ වැටෙන්න ගොඩාක් අවස්ථාවන් පෙනී පෙනීත්, දෛවය තමන්ගේ අතට ගත්ත, බොහෝ බාධක මැද්දේ, අභියෝග වලට මුහුණ දීපු අපේ රටට විතරක් නෙවේ මුළු ලෝකෙටම ආදර්ශයක් වුණු අපේම දිරිය දියණියන් දෙපළගේ කතාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *