ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති  ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය සාර්ථකව නිමාවට පත් වේ

පාසල් දරුවන් තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘Schoolpreneur 2023’ පාසල් ව්‍යවසායකත්ව දිනය පසුගිය 16 වැනි දින සාර්ථකව නිමාවට පත්විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සහ ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගීතාවයෙන් සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් දිවයින පුරා පාසල් සිසු සිසුවියන් 2000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ශ්‍රී ලාංකේය තාරුණ්‍ය අතර ව්‍යවසායකත්වය පෝෂණය කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙහි  සමාරම්භක  උත්සව අවස්ථාවට සහභාගීවෙමින් අධ්‍යාපන අමාත්‍ය ගරු. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ව්‍යවසායකත්ව දිනය සමරමින් සිදුකරන මේ වැඩසටහන  ශ්‍රී ලංකාවට  ඉතාම වැදගත් අවස්ථාවක් වෙනවා. එබැවින් මෙවැනි දිනයක් සංවිධානය කිරීම හා ඊට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් මම  ලංකා වාණිජ මණ්ඩලයට මෙන්ම අනෙකුත් සියලුම අනුග්‍රාහක පාර්ෂවයන්ට  මගේ කෘතඥතාව පුද කරනවා. වර්මානය වන විට අපේ රට තුළ ව්‍යවසායකත්වයේ වැදගත්කම ගැන සාකච්ඡා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ව්‍යවසායකත්වය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම සහ දරුවන් තුළ එහි ආකල්ප පෝෂණය කිරීම සඳහා  අපගේ සියලුම අධ්‍යාපන ආයතන ඊට අදාළ පර්යේෂණ සහ නවෝත්පාදන කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදීම අත්‍යවශ්‍යයයි. මෙවැනි වැඩසටහන් තුළින් පාසල් සිසුන් ඇතුළු අපගේ අනාගත පරම්පරාව තුළ ව්‍යවසායකත්ව මානසිකත්වය පෝෂණය කිරීම සඳහා අවශ්‍ය නව්‍ය ප්‍රවේශයන්  පිළිබඳව විශේෂයෙන්  අවධාරණය කිරීම ඉතා වැදගත් වෙනවා.”

මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූ  ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා මහතා සිය අදහස් මෙසේ දැක්වුවේය. ‘දිවයින පුරා පිහිටි පාසල්වල  ව්‍යවසායකත්ව දිනයක් සංවිධානය කරමින් ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය පෝෂණය කිරීම පිළිබඳ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම ගැන ලංකා වාණිජ මණ්ඩලය ලෙස අප නිහතමානීව සතුටු වෙනවා. විශේෂයෙන්ම පාසල් සිසු සිසුවියන් අතර ව්‍යවසායකත්ව කුසලතා පෝෂණය කිරීමට මෙම අවස්ථාව ඉමහත් පිටිවහලක් වෙනවා.ව්‍යවසායකත්වය දිරිමත් කිරීම තුළින් ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳව දැනුම පමණක් නොව නව්‍යකරණය, ගැටලු විසඳීමේ හැකියාව මෙන්ම ආකල්ප ද වර්ධනය වෙනවා.තරුණ ව්‍යවසායකත්වය සඳහා වන මෙම වැඩසටහන ඔවුන්ගේ අනාගතයට  සවිමත් පදනමක් ගොඩනඟන අතර දේශීය ආර්ථිකය වර්ධනයට ද මෙය විශාල දායකත්වයක් සපයන වටිනා ආයෝජනයක්.”

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික උපදේශක ආචාර්ය තෝමස් ක්‍රිං මහතා මෙහිදී ඔහුගේ අදහස් මෙසේ දැක්වුවේය. ‘සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා අර්ථවත් හා ඵලදායී රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණ වෙත ගමන් කිරීමේදී   ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට අප තීරණය කළා. අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු  තරුණ ජනගහනයක් දකින්න ලැබෙනවා. එය රටේ ප්‍රගමනය වෙනුවෙන් ඉවහල් කර ගත හැකි වැදගත් කරුණක් වන අතර  දිනෙන් දින ඉහළ යන විරැකියාව වැනි ගැටලුවලට ඵලදායී විසඳුම් සොයා ගැනීම තුළින් තාරුණ්‍යයේ හැකියාවන් ඵලදායී ලෙස යොදාගැනීමට හැකිවෙනවා.  එබැවින්  රටේ වැඩි වන තරුණ ජනගහනය උපයෝගී කරගනිමින් මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා උපාය මාර්ගික අවස්ථාවක් ලෙස ව්‍යවසායකත්වය  වර්ධනය කිරීම වෙනුවෙන් අප ආයතනය කැපවී සිටිනවා.”

Schoolpreneur 2023 යනු ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සිදුකරන දකුණු ආසියාවේ ව්‍යවසායකත්ව නායකත්වය  ව්‍යාපෘතියේ (SALE) ප්‍රධාන වැඩසටහනක් වන අතර එය ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රධාන හවුල්කරු ලෙස ලංකා වාණිජ මණ්ඩලය සම්බන්ධ  වී සිටියි.මෙමඟින් මෙරට ව්‍යවසායකත්වය පිළිබඳව ඇති  පසුබිමෙහි යම් වෙනසක් සිදුකිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන අතර ජාත්‍යන්තර ව්‍යවසායකත්ව අවස්ථාවන් වෙත ප්‍රවේශ වීම සඳහා තාරුණ්‍ය දිරිමත් කරයි. පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ව්‍යවසායකත්වය වෙනුවෙන් විශේෂ දිනයක් වෙන් කිරීම ඔස්සේ ව්‍යවසායකත්වය පිළිබඳ විවිධ පුහුණු වැඩසටහන්, උපදේශනයන් සහ සංවර්ධන වැඩසටහන් දියත් කරමින් දරුවන් තුළ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ තිරසාර දැක්මක් ගොඩනැගීම සහ ව්‍යවසායකත්ව ආකල්ප පෝෂණය කිරීම  මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු අරමුදලෙහි අනුග්‍රහකත්වයද සපයනු ලබන මෙවැනි උපායමාර්ගික වැඩසටහන් තුළින් තුරුණු ප්‍රජාවට ස්වයං ව්‍යාපාර දියත් කිරීමට මෙන්ම එම ව්‍යාපාර තවදුරටත් වර්ධනය කරගනිමින් සිය ව්‍යාපාරික ධාරිතාව පුළුල් කර ගැනීමටත් සුවිසල් දායකත්වයක් ලබාදෙන අතර  ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් රට තුළ ඇති පසුබිමෙහි සාධනීය වෙනසක්ද ඇති කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *