IIT‍ අන්තර්ජාල මගින් අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙමින්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි ඇති කැපවීම පිළිබිඹු කරයි

ශ්‍රී ලංකීය සිසු පරපුරට උසස් අධ්‍යාපන මං පෙත් විවර කර දීමේ වගකීමට උර දී සිටින, පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, කොවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ, රටේ දහස් ගණනක් වන සිසු සිසුවියන් හට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම සඳහා අන්තර්ජාල ඉගැන්වීම් ක්‍රමවේදය වෙත ප්‍රගතිශීලි පියවරක් තබා තිබේ.  

2022 වසර වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, සෘජු රැකියා 200,000 ක් බිහි කරමින් හා නව ව්‍යාපාර 1000 ක් දියත් කරමින් ඩොලර් බිලියන 5 ක අපනයන ආදායමක් ලැබීමට අරමුණු කර තිබේ. තොරතුරු තාක්ෂණ සමාගම්වලට සීඝ්‍ර වර්ධනයක් අත්කර දීමට හා තොරතුරු තාක්ෂණ සිසුන්ට හැකි අවම කාලයකින් දැනුම, පුහුණුව හා පළපුරුද්ද ලබා දීමට අවශ්‍ය සියලු සම්පත් ලබා දීමට රජය හා පෞද්ගලික අංශය ඉතා සමීපව කටයුතු කරන බැවින්, මෙය ළඟා කර ගත හැකි ඉලක්කයකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් IIT වැනි ප්‍රමුඛ අධ්‍යාපන ආයතන සතු වන අතර, වර්තමාන COVID-19 වසංගතය හේතුවෙන් රටට සහ මුළු ලෝකයටම කුමන තත්ත්වයක් උදා වේදැයි නොදන්නා අවිනිශ්චිත කාලවලදී පවා සිසුන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. තොරතුරු සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයින් රැකියා වෙළඳපොළට ඇතුළු වීම, වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් සෘණාත්මක වර්ධන වේගයකට අවතීර්ණ වනු ඇතැයි අපේක්‍ෂා කරන ආර්ථිකයට ද බෙහෙවින් අවශ්‍යම තල්ලුවක් ලබා දෙනු ඇත.

කොවිඩ්-19 හේතුවෙන්, නිවෙස්වල රැඳී සිටීමේ අවශ්‍යතාවයට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම අවබෝධ කර ගනිමින්, IIT ආයතනය එම පරිශ්‍රයේ සමස්ත මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන, සියලු ඉගැන්වීමේ කාර්යයන් සඳහා ශක්තිමත් අන්තර්ජාල මාධ්‍යයක් වෙතට යොමු විණි. බලධාරීන් විසින් දෙන ලද නියෝගයන්ට අනුකූලව සහ සිසුන් හා කාර්ය මණ්ඩලය රෝගයේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා, සියළුම සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා IIT ආයතනය, ප්‍රගතිශීලී පියවර ගණනාවක් ගෙන තිබේ. වර්තමානයේදී, සියලුම දේශන පෙර කාලසටහන් අනුව අන්තර්ජාලය මගින් පවත්වනු ලබන අතර එමගින් සිසුන්ට ඔවුන්ගේ පාඨමාලා අතපසු නොකර, නියමිත කාලයට විභාග සඳහා පෙනී සිටීමේ හැකියාව පවතී.  නිවසේ සිට ක්‍රියාත්මක වන වැඩකටයුතුවලට පහසුවෙන් මාරු වීම සඳහා IIT හි සියලුම පරිපාලන කටයුතුද කාර්ය මණ්ඩලය මගින් අන්තර්ජාලය මගින් ඉතා කාර්යක්ෂමව සිදු කෙරේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සිසුන්ට තම නිවෙස්වල සිටම විමසීම් කිරීම, පාඨමාලා සඳහා ලියාපදිංචි වීම හා අන්තර්ජාලය මගින් මුදල් ගෙවීම් සිදු කළ හැකිය. මැයි මාසයේදී එළඹෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන සිසුන්ට, සම්මුඛ පරීක්ෂණවල පටන් ලේඛන ඉදිරිපත් කිරීම් හා මුදල් ගෙවීම් දක්වා ලියාපදිංචියට අදාළ සියලු කාර්යයන් ඉතා පහසුවෙන් IIT අන්තර්ජාල සේවාව මගින් කර ගත හැකි වේ. එමෙන්ම, IIT කාර්ය මණ්ඩලය සිසුන් සමග අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, ශ්‍රී ලංකාවේ COVID-19 වසංගත තත්ත්වයෙහි නවතම තොරතුරු මගින් සිසුන් යාවත්කාලීනව දැනුවත් කර තැබීමටද වගබලා ගනියි.

සෑම මට්ටමකම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයට සහාය දැක්වීමේ IIT පරමාර්ථයට අනුකූලව, මෙම වසර අගදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ (O / L) සහ උසස් පෙළ (A / L) විභාග සඳහා සිසුන්ට උපකාරී වන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  සම්මන්ත්‍රණ මාලාවද අන්තර්ජාල මාධ්‍යය දක්වා ඉහළ නංවා ඇත. IIT ආයතනය, වසර ගණනාවක් තිස්සේ මෙම සම්මන්ත්‍රණ අඛණ්ඩව පවත්වනු ලබන අතර ඉන් දිවයින පුරා පාසල් සිය ගණනක් සහ සිසුන් දහස් ගණනකට සුවිශාල ප්‍රතිලාභ සැලසී තිබේ.

ඇඳිරි නීතිය හේතුවෙන් දැනට පවත්නා සීමාවන් සැලකිල්ලට ගෙන, මෙම කාලෝචිත පියවර විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට තම සිසුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කදිම වේදිකාවක් සපයන අතර එමඟින් කිසිදු බාධාවකින් තොරව තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඔවුනට ඉඩකඩ  සලසයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ ඔවුන්ගේ උත්සාහයට කදිම සහයක්ද එමගින් සැලසේ. පැය 2 ක සම්මන්ත්‍රණ මගින් ඉන්ටර්නෙට් Internet of Things (IoT), Programming, Flowcharts මෙන්ම තවත් මාතෘකා ගණනාවක්ම ආවරණය කෙරෙයි. එම දේශන IIT හි පළපුරුදු

අධ්‍යයන සාමාජිකයෙකු විසින් මෙහෙයවනු ලබන අතර දේශන වර්ග ද්විත්වයකි. පළමු වර්ගය විශේෂයෙන් සකසා ඇත්තේ ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශයේ අවශ්‍යතා මත පදනම්ව, තනි පාසලක් විසින් ඉදිරිපත් කරනු ලබන මාතෘකාවක් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහාය. සාමාන්‍යයෙන් පාසලකින් සිසුන් 100 ක් පමණ මෙම ආකාරයේ සම්මන්ත්‍රණවලට සහභාගි වෙති. අනෙක් වර්ගය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මාතෘකා රාශියක් ආවරණය වන පරිදි මෙහෙයවනු ලබන පොදු සම්මන්ත්‍රණ වන අතර, දිවයින සියලු පාසල් සිසුන්ට විවෘත මෙම සෑම සම්මන්ත්‍රණයකටම සාමාන්‍යයෙන් සිසුහු 400 ක් පමණ සහභාගී වෙති.

“දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ආයතනයක් වශයෙන්, අවශ්‍යතාවය මතුවන ඕනෑම අවස්ථාවක අන්තර්ජාල ක්‍රමවේදයට යොමුවීමට අපි නිරතුරුවම සූදානමින් සිට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, COVID-19 රෝගය ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇති මෙම අවස්ථාවෙහි  අපි අන්තර්ජාලය ඉගෙනුම් වෙතට යොමු වීමට වැඩ පිළිවෙළක් සකස් කළා. එමගින් නිවසේ සිට සියලු කාර්යයන්හි නිරත වීම මගින් IIT සිසුන් හා කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවට අපට සහතික වීමට පුළුවන්. මෙවන් අවස්ථාවක, ඇඳිරි නීතිය හේතුවෙන් සිසුන්ට පමණක් නොව, ආර්ථිකයටද, සෘණාත්මක බලපෑම් එල්ලවන  බැවින්, ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත්. ඉදිරියේදී, මෙම තත්ත්වය ව්‍යාප්ත වද්දී, ඒ හා පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අපි සියලු පූර්ව ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සිටිනවා.” IIT හි අධ්‍යක්ෂ මහාචාර්ය ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේය.

ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා තිබේ. 1990 වසරේ එහි ආරම්භයේ පටන් මේ දක්වා 3000 කට අධික උපාධිධාරීන් පිරිසක් ඉන් බිහි කර තිබේ. මෙම උපාධිධාරීහු දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං ව්‍යවසායකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින් සාර්ථකව සිටිති. ඔවුහු දේශීය හා විදේශීය සමාගම් 250 කට අධික ප්‍රමාණයක, ප්‍රධාන තනතුරු දරමින්, එම සමාගම්වල දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *