SLIM “විශිෂ්ඨත්වයේ වීරයෝ” යන තේමාවෙන් ජාතික විකුණුම් සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කරයි

මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) විසින් සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2024 (SLIM National Sales Awards 2024) අඛණ්ඩව 24 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර තිබේ. මෙම සම්මාන උළෙලේදී කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක නියැළී සිටින විකුණුම් වෘත්තිකයන්ගේ කාර්ය සාධනය අගයමින් සම්මාන ප්‍රදානය කරන අතර මෙරට විකිණුම් වෘත්තිකයන් මෙම සම්මාන උළෙල පිළිබඳව මහත් උනන්දුවෙන් පසුවේ. මෙවර එහි තේමාව ‘විශිෂ්ඨත්වයේ වීරයෝ’ (Heroes of Excellence) වේ. දකුණු ආසියානු කලාපයේ හොඳම විකුණුම් සම්මාන උළෙල ලෙස හැඳින්වෙන මෙහිදී අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව විකිණුම් වෘත්තිකයන් හඳුනාගනිමින් ඇගයීම සිදුකරන අතර එමගින් ජයග්‍රාහකයන් ගෝලීය තලය තුල ඉහලින්ම ඔසවා තැබීමට SLIM ආයතනය බලාපොරොත්තු වෙයි.

මේ සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා තම ආයතන ඔස්සේ අයදුම් පත් ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇත. වර්තමානය වන විට විකිණුම්කරණය ඕනෑම ව්‍යාපාරයක වර්ධනය කෙරෙහි හේතු වන වැදගත් සාධකයක් බවට පත්ව ඇත. එබැවින් ආයතන  විකිණුම්කරණ සම්පත්, තාක්ෂණය සහ යටිතල පහසුකම් ආදිය වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කරයි. ඒ අනුව විකිණුම්කරණ කණ්ඩායම් ඉතාමත් තරඟකාරී ලෙස සිය සේවාවන් සිදුකරන අතර ඔවුන් වෙත ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාදීම SLIM ජාතික විකිණුම්කරණ සම්මාන උළෙලේ මූලික පරමාර්ථය වේ.

විකුණුම්කරණ ක්ෂේත්‍රයෙහි මුල්පෙළ කණ්ඩායම්, විකිණුම්කරණ අධීක්ෂකවරුන්, විකුණුම් විධායකවරුන්, ප්‍රාදේශීය විකුණුම් කළමනාකරුවන්, ජාතික විකිණුම්කරණ කළමනාකරුවන් සහ අනිකුත් විකුණුම් සහායක කාර්ය මණ්ඩලය යන කාණ්ඩ යටතේ මෙවර SLIM ජාතික විකුණුම් සම්මාන පිරිනැමේ. මෙහි අයදුම් පත්‍ර සලකා බැලීමේ කාලය 2023 දෙසැම්බර් 31දින සිට 2024 මාර්තු 31 දින දක්වා වේ. පසුගිය වසරේදී මෙන්ම මෙවරද විකිණුම්කරණ ක්ෂේත්‍රය තුළ කාන්තා වෘත්තිකයන්ගේ දායකත්වය දිරිගන්වමින් ඇගයීමක් සිදු කිරීමටද අපේක්ෂිතය. රටේ සෑම අංශයකම සේවය කරන කාන්තා වෘත්තිකයන් වෙනුවෙන් ලබා දෙන විශේෂ ඇගයීම, රටේ සෑම අංශයකම සහ කර්මාන්තයකම කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා SLIM දරන අඛණ්ඩ උත්සහයේ ප්‍රතිඵලයකි.

ඉහත සඳහන් කළ සෑම කාණ්ඩයක් සඳහාම රන්,රිදී මෙන්ම ලෝකඩ සම්මාන ත්‍රිත්වය බැගින් පිරිනැමීමට නියමිතය. එමෙන්ම, ජාතික සහ ප්‍රාදේශීය විකිණුම්කරණ කළමනාකරුවන් සඳහා ද සම්මාන පිරිනමනු ලැබේ. කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණ විශ්ලේෂකයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙහිදී විනිශ්චය කටයුතු සිදුකරන අතර ජයග්‍රාහකයින් පිළිබඳ විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති ගයාන් පෙරේරා මහතා සිය අදහස් මෙසේ සඳහන් කළේය. “විකිණුම්කරණ විශිෂ්ටත්වය යනු පාරිභෝගිකයන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමයි. එය ඉලක්ක සපුරාලීම හෝ ගනුදෙනු අවසන් කිරීම ඉක්මවා යන දිගු ක්‍රියාවලියක් වන අතර, මෙයට පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධය, සදාචාරාත්මක භාවිතයන් සඳහා කැපවීම සහ දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීමේ හැකියාව ඇතුළත් වෙනවා. SLIM ජාතික විකුණුම් සම්මාන මඟින් අපගේ විකිණුම්කරණ සබැඳියාවන්ට කදිම වේදිකාවක් සකස් කරනවා. මෙමගින් වෘත්තිකයන්ගේ විකිණුම්කරණ කුසලතා සහ ශිල්පීය ක්‍රම වැඩිදියුණු කරමින් අනාගත ව්‍යාපාරික නායකයන් වීමටද ඔවුන්ව හැඩගස්වනවා. මෙම අසමසම අවස්ථාව තුළින් අපගේ වෘත්තීකයන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

“ඕනෑම ව්‍යාපාරයක ඉදිරි පෙළේ විකිණුම්කරණ බලකායන් සිටින අතර, විශේෂයෙන් පසුගිය අභියෝගාත්මක වසර කිහිපය තුළ ඔවුන් බොහෝ බාධකවලට මුහුණ දී තිබෙනවා. ආයතනයක් විකිණුම්කරණ කණ්ඩායමක් සඳහා ආයෝජනය කිරීමේ, පුහුණු කිරීමේ සහ දිරිමත් කිරීමේ අවශ්‍යතාවය වර්තමානය වන විට වෙනදාටත් වඩා පැහැදිලිව හඳුනාගත හැකියි. එම වෘත්තිකයන් වෙනුවෙන් ජාතික මට්ටමෙන් සම්මාන පිරිනැමීමට SLIM ජාතික විකිණුම්කරණ සම්මාන උලෙළ මහඟු වේදිකාවක්,” යනුවෙන් ජාතික විකිණුම්කරණ සම්මාන 2024 හි ව්‍යාපෘති සභාපති නුවන් තිලකවර්ධන මහතා ප්‍රකාශ කළේය .

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ වැඩසටහන් සහ තිරසාර ව්‍යාපෘති අංශයේ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “NSA යනු වැඩිම ආකර්ෂණයක් දිනාගත් විකිණුම්කරණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් පවත්වන ලද සම්මාන උළෙල වන අතර ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා මෙහිදී වඩාත් පිළිගැනීමට ලක්වෙනවා. වසර ගණනාවක් පුරාවට SLIM විකිණුම්කරණ වීරයන් පෝෂණය කරමින් විශිෂ්ට නායකයින් බිහිකිරීමට උපකාරී වී තිබෙනවා. දක්ෂතම විකිණුම්කරණ වෘත්තිකයන් හඳුනාගනිමින් ඔවුන්ට විශිෂ්ටත්වයට පත්වීම සඳහා මඟ පෙන්වීමට හැකි වීම පිළිබඳ අපි බෙහෙවින් ආඩම්බර වෙනවා”

“ව්‍යාපාරික ආයතන අවධානය යොමු කරන්නේ විකිණුම්කරණ මෙහෙයවීම තුළින් ධනය උත්පාදනය කිරීම පිළිබඳවයි. සමකාලීන ව්‍යාපාරික ආකෘතීන් හරහා ආයතනය තුළ සිටින විකුණුම් වීරයන් ඇගයීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදුන්නද එය එතැනින් අවසන් නොවේ. අද ශ්‍රී ලංකාවේ සමස්ත විකිණුම්කරණ වෘත්තිකයන් දිරිමත් කරමින් SLIM විසින් NSA හරහා ජාතික මට්ටමින් ඔවුන්ගේ සාර්ථකත්වය සැමරීම දක්නට ලැබීම සතුටක්.”

SLIM ජාතික විකිණුම්කරණ සම්මාන 2024 සඳහා ප්‍රවේශ කට්ටල  

https://slim.lk/nationalsalesawards වෙතින් බාගත හැකි අතර සියලුම අයදුම්පත් 2024 ජූලි 25 වැනි දිනට පෙර ඉදිරිපත් කළ යුතුය. ලියාපදිංචි සීමිත වගකීම් සමාගම්,හවුල් ව්‍යාපාර , පොදු සහ තනි හිමිකාරත්වයන්හට ද  තරඟයට ඇතුළත් වීමට හැකියාව ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0703266988 (ගංගානි) හෝ 0718417591 (අවිශ්ක) යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *