නවල‍ෝක හොස්පිටල්ස් ක්‍රිකට් කණ්ඩායම වෙළෙඳසේවා ක්‍රිකට් තරඟාවලියේ ප්‍රීමියර් ‘සී’ කාණ්ඩයේ NDB කුසලානය දිනාගනී

නවලෝක හොස්පිටල්ස් ක්‍රිකට් කණ්ඩායම සමිත් රුබේරුගේ නායකත්වයෙන් යුත් නවලෝක හොස්පිට්ල්ස් කණ්ඩායම සැප්තැම්බර් 29 වැනිදා පැවැති වෙළෙඳ සේවා ප්‍රීමියර් ‘සී’ කාණ්ඩයේ ඕවර 50 ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී LOLC හෝල්ඩින්ග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් එම කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් නවලෝක කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සටන්කාමී ඉනිමක් දියත් කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 8 ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තේය- එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට තිවංක කැකුලාවල සමත් වූ අතර ඔහු පන්දු 87කින් ලකුණු 62ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය. ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ සමිල නදීෂ් හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමඟින් පන්දු 37කදී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය- ඔහුට අනගි සහයක් ලබා දුන් රවීන් සේයර් හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමඟින් පන්දු 46කදී ලකුණු 44 ලබා ගනිමින් නවලෝක ලකුණු පුවරුව ඔසවා තැබීය. LOLC හෝල්ඩින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී සිදත් මල්ලවාරච්චි ලකුණු 46කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ LOLC හෝල්ඩින්ග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 75ක් පමණි. එහිදී LOLC හෝල්ඩින්ග්ස් කණ්ඩායම අසරණ කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සම්පත් නිස්සංක ලකුණු 28කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය- මීට අමතරව තිවංක කැකුලාවල ලකුණු 17කට කඩුලු 3ක් ද, චානක දේවින්ද ලකුණු 20කට කඩුලු 2ක් ද දවා ගනිමින් නවලෝක කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ඒ අනුව සමිත් රුබේරුගේ නායකත්වයෙන් යුත් නවලෝක හොස්පිට්ල්ස් කණ්ඩායම වෙළෙඳ සේවා ප්‍රීමියර් ‘සී’ කාණ්ඩයේ අවසන් මහා තරගයේදී විශිෂ්ට ජයක් අත්කර ගනිමින් NDB කුසලානය දිනා ගැනීමට සමත් විය. තරගාවලියේ වීරයා සහ අවසන් මහා තරගයේ වීරයා ලෙස තිවංක කැකුලාවල සම්මාන දිනාගත් අතර සුවිශේෂී දස්කම් දැක්වූ තවීෂ අභිෂේක් හොඳම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top