SLASSCOM TechKids ප්රථමවරට පැවැත්වූ කේතකරණ තරඟාවලියේ දී පාසල් දරුවන් තමන්ගේ නිර්මාණශීලී කේතකරණ කුසලතා විදහා දක්වයි.

කේතකරණය යනු නිර්මාණශීලී ප්‍රකාශනයක එක් ආකාරයකි. ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) මගින් මෑතක දී පැවැත්වීමට යෙදුණු SLASSCOM TechKids කේතකරණ තරඟාවලිය ඒ සඳහා අනගි දසුනකි. සමාජ දුරස්ථකරණය ආරම්භයේ සිට ළමුන් විශාල වශයෙන් සිය ඩිජිටල් උපාංග වලට ඇබ්බැහි වී සිටියි. ඒ වීඩියෝ ක්‍රීඩා කිරීමට සහ චිත්‍රපටයක් නැරඹීමට පමණක්ම නොව ස්වකීය තාර්කික සහ නිර්මාණාත්මක කුසලතාවන් ක්‍රියාවට නැංවීම සඳහා ද වේ.අන්තර්ජාලය ඔස්සේ පවත්වන TechKids  කේතකරණ සැසිය සහ එහි ඩිජිටල් ඉගෙනුම් වේදිකාව අනාගතය සඳහා කුසලතාවයන් අධ්‍යයනය සඳහා අනගි පසුබිමක් සලසා ඇත. මේ අනුව ප්‍රථම SLASSCOM TechKids කේතකරණ තරඟාවලිය දියත් කෙරුණි. දිවයින පුරා ළමුන් 90 ක් මේ සඳහා ලියාපදිංචි වූ අතර නිශ්චිත කාල රාමුවක් තුළ එම තරඟය පැවැත්විණි.

දින දහයක කෙටි කාලසීමාවක් තුළ අපේක්ෂකයන්හට  Scratch ක්‍රමලේඛන භාෂාව භාවිතයෙන් පරිගණක ක්‍රීඩාවක්, සජීව කරණයක් හෝ කතාන්දරයක් කේතකරණය ට සහ නිර්මාණයට නියම විණි. තරගාවලිය අවසන් වීමේ කාලය එළඹීමේදී covid-19 වසංගතයට එරෙහිව සටන් වැදීම නිර්මාණශීලීව පැහැදිලි කරමින් ඉදිරිපත් කිරීම් තිහක් ( ක්‍රීඩා 15, සජීවීකරණ 8 සහ කතාන්දර 7) ඉදිරිපත් වී පැවතුණි. සෑම නිර්මාණයක් තුළින්ම ඒවා සදහා යොමුකළ අවධානය, නිර්මාණශීලිත්වය හා කේතකරණයේ විශිෂ්ටත්වය පැහැදිලි විය. සෑම ඉදිරිපත් කිරීමක් ම ක්ෂේත්‍රයේ පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවන් ඇතුළු ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් මගින් විනිශ්චය කරන ලදී. විනිසුරු මඩුල්ල මගින් සෑම ඉදිරිපත් කිරීමක් ම Scratch elements භාවිතය, ක්‍රමලේඛන නිර්මාණය, නිර්මාණශීලිත්වය ඉස්මතුවීම, සංවේදී බව හා ජාතික සමගිය යන විවිධ මිණුම් ඇසුරෙන් විනිශ්චය කරන ලදී.

මියුසියස් විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලිතුලි මෙහන්සා පයාගල විසින් හොඳම පරිගණක ක්‍රීඩාව සඳහා ත්‍යාගය ජයග්‍රහණය කරන ලදී. ලිතුලි පසුගිය වසරේ අන්තර්ජාතික කේතකරණ තරගාවලි දෙකකින් ජය ලබා ඇති අතර ඇයගේම Coding Girl නම් YouTube චැනලයක් පවත්වාගෙන යයි. එයින් ඇය පරිගණක ක්‍රීඩා සංවර්ධනය, ක්‍රමලේඛන මූලධර්ම සහ BBC Micro:bit භාවිතයෙන් භෞතික පරිගණකකරණය ආදිය ඉදිරිපත් කරයි. ලිතුලි විසින් ඉදිරිපත් කරන ලද පරිගණක ක්‍රීඩාව Pac-man වැනි ක්‍රීඩාවක් වූ අතර එහිදී ඔබට විෂබීජ නාශක හා මුහුණු ආවරණ භාවිතයෙන් වෛරස වලින් ආරක්ෂා වෙමින් සහ හැකිතාක් ආහාර ද්‍රව්‍ය එක්රැස් කරමින් ශ්‍රී ලංකා ධජය යටතේ ආරක්ෂිත ස්ථානයක් කරා ළඟා වීමට සිදුවේ. ඔබටත් ලිතුලි විසින් ඉදිරිපත් කරන ලද පරිගණක ක්‍රීඩාව පහත ලින්කුව මගින් ක්‍රීඩා කළ හැක. https://scratch.mit.edu/projects/392501494/

Al Iman විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුඊනා ෂහ්මි විසින් හොඳම සජීවීකරණය සඳහා ත්‍යාගය දිනා ගනු ලැබීය. ඇය සිය සජීවීකරණය හරහා Covid-19 රෝගයේ විවිධ රෝග ලක්ෂණ සහ අත්සේදීම, සමාජ දුරස්ථභාවය, විෂබීජ නාශක භාවිතය සහ මුව ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත ක්‍රම පිළිබඳව තොරතුරු ඉදිරිපත්කරයි. සඳහන් කළ යුතු වැදගත් ම ලක්ෂණයක් වනුයේ ඇගේ සජීවීකරණයට මනාව ගැලපෙන වාචික නිරූපනයක් යොදාගෙන තිබීමයි. පහත ලින්කුව තුළින් ඔබටත් ඇගේ සජීවීකරණය නැරඹිය හැක

https://scratch.mit.edu/projects/400642928

තර්ස්ටන් විද්‍යාලයේ නිෂිත වික්‍රමසිංහ හොඳම කතාන්දරය සඳහා ත්‍යාගය දිනාගනු ලැබීය. ඔහුගේ කතාන්දරය ජාතික සමගිය සහ විවිධත්වය වැනි කාලීන මාතෘකාවක් වටා ගෙතුනකි. විවිධ ජන වර්ග වලින් තෝරා ගත් චරිත සහ ප්‍රවේශමෙන් සැකසූ දෙබස් මගින් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එකම ජාතියකට අයත් බවත් covid-19 වසංගතය ජාතියක් වශයෙන් එක්ව ක්‍රියා කිරීම මගින් පරාද කළ හැකි බවත් යන ගැඹුරු පණිවිඩය ඔහුගේ කතාව තුළින් ඉදිරිපත් කෙරේ. නිර්මාණශීලී කේතකරණය ඔස්සේ සැකසුම් නිෂිතගේ කතන්දරය ජාතික සමගිය පිළිබඳ වටිනා පාඩමක් වන අතර අප බොහෝ දෙනෙකුගේ නෙත් විවර කිරීමට සමත්වනු ලබන්නකි.

අනෙක් ඉදිරිපත් කිරීම් අතරින් මෙම නිර්මාණ ත්‍රිත්වය කැපී පෙනුණ ද ඉතිරි නිර්මාණ 27 ද ඒවායේ විශිෂ්ටත්වය වෙනුවෙන් ගෞරවනීය සඳහන් කිරීම කළ යුතුය.

ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර හිමිවනු ඇති අතර සහභාගී වූවන් හට සහභාගීත්වය තහවුරු කිරීමට සහතිකපත් හිමිවනු ඇත. ඔවුන්ගේ ප්‍රයත්නය සහ නිර්මාණාත්මක හැකියාව අගය කිරීමට SLASSCOM TechKids අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා නොර්වේ තානාපති කාර්යාලයේ සහයෝගීතාව ඇතිව SLASSCOM TechKids මගින් ඉදිරිපත් කරනු ලබන මෙම වැඩපිළිවෙල ආර්ථික සමාජයීය ජාතික හා භෞතික වශයෙන් ඇති සීමාවන් අතික්‍රමණය කරමින් දරුවන් තුළ කේතකරණ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා සූදානම් වී ඇත. පාසල් සහ SLASSCOM සාමාජික සමාගම්වල සිදු කරනු ලබන පන්ති කාමර ආශ්‍රිත කේතකරණ වැඩමුළු, සතිපතා අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන කේතකරණ වැඩමුළු සහ අලුතින් ආරම්භ කරන ලද ඩිජිටල් අධ්‍යයන වේදිකාව ( www.techkids.lk ) ආදී නවමු පියවරක් මගින් ආසන්න වශයෙන් 1500 ක ට නොවැඩි සිසුන් පිරිසක් වෙත මෙම ක්‍රියාවලියෙන් පහසුකම් සැලසීමට හැකියාව ලැබී ඇත. සතිපතා අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන කේතකරන වැඩමුළු සඳහා එක් පාසලකින් සිසුන් ආසන්න වශයෙන් 65 ක් බැගින් විවිධ පාසල් දහඅටකින් සිසුන් සහභාගී වන අතර සෑම සිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් ගැහැණු ළමයෙක් වීම විශේෂ කරුණකි. මෙම ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාප්ත වීමත් සමග තව තවත් සිසුන් හට මෙමගින් පහසුකම් සැලසීමට අප බලාපොරොත්තු වී සිටින අතර ඊළඟ තරගාවලිය සඳහා මීට වඩා වැඩි සිසුන් පිරිසක් බලාපොරොත්තු වී සිටි. අපගේ  Facebook පිටුව හා සම්බන්ධ වී සිටීමෙන් වැඩිදුර තොරතුරු ඔබට  දැනගැනීමට හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *