SDB බැංකුව සිය තිරසර සංවර්ධන ගමන් මග අඛණ්ඩව ඉදිරියට ගෙන යයි

සංවර්ධන බැංකුකරණ ක්ෂේත්‍රය තුළ වසර 28 කට අධික අත්දැකීම් සමුදායක් සහිත SDB බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුව තුළ ද සිය තිරසාර මූල්‍ය කාර්යසාධනය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වී ඇත. මෙය බැංකුවේ අරමුණු කේන්ද්‍රීය බැංකුකරණය කෙරෙහි දක්වන අඛණ්ඩ අවධානය මනාව පිළිබිඹු කරයි. නිරන්තරයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක වුව ද සිය ඔරොත්තු දීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කරමින්, ප්‍රතිලාභ සහ අරමුදල් පිරිවැය උපායමාර්ගිකව කළමණාකරණය කරමින්, 2025 වර්ෂයේ තෙවන කාර්තුව අවසන් වන විට SDB බැංකුව රුපියල් මිලියන 254 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙම කාර්තුව තුළ ප්‍රධාන අංශ හරහා ණය නිකුත් කිරීම් වේගවත් වීම හේතුවෙන් නව ණය ලබා දීමේ ව්‍යාපාර ආරම්භ වූ අතර මෙය බැංකුවේ ණය දීමේ උපායමාර්ග සහ ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා පිළිබඳ විශ්වාසය පෙන්වයි. වසරේ මේ දක්වා ගනුදෙනුකරුවන් වෙත ණය සහ අත්තිකාරම් ලබා දීම රුපියල් බිලියන 9.7 කින් ව්‍යාප්ත වී ඇති අතර,  එය අක්‍රීය ණය ශේෂය පහළ යාම, වත්කම්වල ගුණාත්මකභාවයේ සහ බැංකුවේ අවදානම් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය පෙන්නුම් කරයි. ඊට සමගාමීව, 2024 දී වාර්තා වූ 47.78% සීමාවේ සිට 3 වන අදියරේ ණය ආවරණ අනුපාතය 52.28% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය දුරදර්ශී ප්‍රතිපාදන සහ අඛණ්ඩ අයකර ගැනීමේ  උත්සාහයන් මනාව පිළිබිඹු කරයි.

SDB බැංකුවේ ගාස්තු මත පදනම් වූ සේවාවන් සහ පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන් අඛණ්ඩව ව්‍යාප්ත කිරීම හේතුවෙන්, ශුද්ධ ගාස්තු ආදායම පෙර වසරට සාපේක්ෂව 33% කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය, සාම්ප්‍රදායික ණය දීමෙන් වෙනස් වෙමින් ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීමට සහ පාරිභෝගිකයින්ට ලබා දෙන වටිනාකම වැඩි දියුණු කිරීමට SDB බැංකුව තුළ ඇති කැපවීම මනාව පෙන්නුම් කරයි.

මානව ප්‍රාග්ධනය සහ සේවා නවෝත්පාදන හේතුවෙන් පොදු වියදම් පෙර වසරට සාපේක්ෂව 6% කින් සුළු වශයෙන් ඉහළ ගිය ද, හායන අලාභ 11% කින් පහළ යාම ලාභදායීතාවයට තවදුරටත් සහාය විය. SDB බැංකුව 14.90% ක ශක්තිමත් මුළු ප්‍රාග්ධන අනුපාතයක් සහ 148.65% ක ද්‍රවශීලතා ආවරණ අනුපාතයක් පවත්වා ගෙන ගිය අතර, එය නියාමන අවශ්‍යතාවන්ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතීම, බැංකුවේ ද්‍රවශීලතා තත්ත්වය සහ මූල්‍ය ශක්තිය මනාව තහවුරු කරයි.

මෙම කාර්තුව තුළ SDB බැංකුව සිය අරමුදල් සම්පාදනය කළමණාකරණය කිරීමට අඛණ්ඩව කටයුතු කළ අතර, එහිදී අධික පිරිවැයක් සහිත ණය ගැනීම් අඩු කරමින්, අඩු පිරිවැයක් සහිත තැන්පතු ශක්තිමත් කිරීමට අවධානය යොමු කරන ලදී. මූලික වශයෙන් කෙටිකාලීන වගකීම් ආපසු ගෙවීම සහ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සමස්ත වත්කම් 1% කින් සුළු වශයෙන් අඩු වුවද, අඛණ්ඩ ණය ව්‍යාප්තියට සහාය වීම සඳහා නියමාකාර ද්‍රවශීලතා අතිරික්තයක් සහිත ස්ථාවර මූල්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට බැංකුව සමත් විය.

මෙම ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය. “අපගේ තෙවන කාර්තුවේ ප්‍රතිඵල මගින්, දුරදර්ශීව සහ අරමුණු සහගතව, වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට බැංකුව සතු හැකියාව නැවත වරක් පෙන්නුම් කරනවා.  ජනතාව සවිබල ගැන්වීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වීම සහ සමුපකාර අංශය ශක්තිමත් කිරීම යන අපගේ අරමුණු සාර්ථක කර ගැනීමට, ආදායම් සහ වත්කම්වල ගුණාත්මකභාවයෙහි දක්නට ලැබෙන වර්ධනය අපගේ දීර්ඝකාලීන උපායමාර්ගය තවදුරටත් ශක්තිමත් කරනවා. එමෙන්ම, මානව ප්‍රාග්ධනය සහ අපගේ ඩිජිටල් හා පාරිසරික, සමාජීය සහ පාලන මූලික පරිවර්තනය සඳහා ද අප අඛණ්ඩව ආයෝජනය සිදුකරනවා.”

ශක්තිමත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය, මෙම කාර්තුව තුළ ද සිය යථා තත්වයට පැමිණීමේ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන ගිය අතර මෙම හිතකර පසුබිම තුළ, SDB බැංකුව සිය කාර්යභාරය තවදුරටත් තහවුරු කරමින්, තිරසාර මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීමට, ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීමට සහ දිවයින පුරා ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට කැපවී සිටියි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top